ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පවතින ඓතිහාසික මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ඕමානයේ 56 වැනි ජාතික දිනට සමගාමීව සැමරුම් උළෙලක් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී.
ඕමාන ජනරජයේ 56 වැනි ජාතික දිනයට සමගාමීව සංවිධානය කරන ලද සැමරුම් උළෙලක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) කොළඹදී උත්සවාකාරයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති අහමඩ් අලි සයිඩ් අල් රෂ්ඩි (Ahmed Ali Said Al-Rashdi) මහතාගේ ආරාධනයෙන් පැවැති මෙම උත්සවයට අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ශ්‍රී ලංකාවේ සේවයේ නියුතු විදේශීය තානාපතිවරුන්, රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.
උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේත්, ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේත් උණුසුම් සුබපැතුම් ඕමානයේ සුල්තාන් හයිතම් බින් තාරික් අල් සයිඩ් (Sultan Haitham bin Tariq Al-Said) තුමන් වෙත සහ ඕමාන ජනතාව වෙත පිරිනමන බවයි.
1744 වසරේ සිට ඕමානය පාලනය කරන අල් බුසයිදි (Al Busaidi) රාජවංශයේ ආරම්භය සිහිපත් කළ අමාත්‍යවරයා, ‘ඕමාන් විෂන් 2040’ (Oman Vision 2040) වැඩපිළිවෙළ යටතේ ඕමානය අත්කර ගනිමින් සිටින ආර්ථික හා රාජ්‍යතාන්ත්‍රික ප්‍රගතිය අගය කළේය.
ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පවතින්නේ හුදෙක් රාජ්‍යතාන්ත්‍රික සබඳතාවක් පමණක් නොව, ඉන්දියන් සාගරය හරහා සියවස් ගණනාවක් පුරා ගොඩනැගුණු සමුද්‍රීය හා සංස්කෘතික මිත්‍රත්වයක් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය. ඓතිහාසික ‘ජුවල් ඔෆ් මස්කට්’ (Jewel of Muscat) නෞකාව ගාල්ල වරායට පැමිණීම දෙරට අතර පැවැති වෙළෙඳ හා සංස්කෘතික හුවමාරුවේ සදාතනික සංකේතයක් බව ද හෙතෙම සිහිපත් කළේය.
එමෙන්ම, රාජකීය ඕමාන් පොලිසියේ ප්‍රථම පොලිස්පතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයකු වන ෆීලික්ස් ද සිල්වා මහතා කටයුතු කිරීම දෙරට අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසයට මනා නිදසුනක් බව අමාත්‍යවරයා සඳහන් කළේය. දැනට ශ්‍රී ලාංකිකයන් 30,000කට ආසන්න පිරිසක් ඕමානයේ සේවය කරමින් එරට ආර්ථිකයට සක්‍රියව දායක වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් ඕමාන රජය දක්වන සැලකිල්ල අගය කළ අතර, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ඉදිරියේදී තවදුරටත් රැකියා අවස්ථා පුළුල් වනු ඇතැයි ද අපේක්ෂා පළ කළේය.
2026 වසර වන විට ශ්‍රී ලංකාව සහ ඕමානය අතර නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 45ක් සපිරෙන බව ද අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම, 2026 අගෝස්තු මාසයේදී මස්කට් නුවර පැවැති සිව්වැනි ද්විපාර්ශ්වික සාකච්ඡා වටයේදී වෙළෙඳාම, ඩිජිටල්කරණය සහ නවෝත්පාදන යන ක්ෂේත්රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකි වූ බව ද ඔහු සඳහන් කළේය. ඕමාන වෙළෙඳ උපදේශකවරයකු මෙන්ම ඕමාන් ක්‍රිකට් සභාපතිවරයා ද වන පංකජ් කිම්ජි (Pankaj Khimji) මහතාගේ ශ්‍රී ලංකා සංචාරය ද දෙරට අතර ආර්ථික හා ක්‍රීඩා සබඳතා වර්ධනය කර ගැනීමට දායක වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
තවද, ශ්‍රී ලාංකික තරුණ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සඳහා අරාබි භාෂා ශිෂ්‍යත්ව පිරිනැමීම සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) හා ඕමාන රාජ්‍යතාන්ත්‍රික ඇකඩමිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ඕමාන විදේශ කටයුතු අමාත්‍යාංශයට සිය ස්තූතිය පළ කළේය. එමෙන්ම, 2025 නොවැම්බර් මාසයේදී යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකා – ඕමාන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ඔස්සේ දෙරට අතර පාර්ලිමේන්තු සබඳතා තවදුරටත් ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බව ද පැවසීය.
කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව, ධීවර කර්මාන්තය, තිරසාර ජලජ වගාව සහ සමුද්‍රීය ආරක්ෂාව යන ක්ෂේත්රවල සහයෝගීතාව වර්ධනය කර ගැනීමට දෙරටම කැපවී සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම, පුනර්ජනනීය බලශක්තිය, ප්‍රවාහන හා සැපයුම් සේවා, සංචාරක කර්මාන්තය සහ තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්රවල ශ්‍රී ලංකාව තුළ පවතින නැගී එන ආයෝජන අවස්ථා පිළිබඳව අවධානය යොමු කරන ලෙස ද අමාත්‍යවරයා ඕමාන ආයෝජකයන්ගෙන් ඉල්ලා සිටියේය.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කරන ඕමාන තානාපති අහමඩ් අලි සයිඩ් අල් රෂ්ඩි මහතා (Ahmed Ali Said Al-Rashdi) ඇතුළු තානාපති කාර්ය මණ්ඩලයට ද අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සිය ස්තූතිය පළ කළේය.
අවසාන වශයෙන් ඕමාන සුල්තාන් රාජ්‍යයට සහ එහි ජනතාවට තිරසාර සමෘද්ධිය, සාමය හා සෞභාග්‍යය ප්‍රාර්ථනා කළේය.
