පස් කන්දක් කඩාවැටී ඇණහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනය යළි යථා තත්ත්වයට
පස් කන්දක් කඩා වැටීමෙන් ඇණහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු (04) දින උදෑසන 11:15 පමණ වන විට යථා තත්වයට පත්කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නුවරඑළිය දිස්ත්රික් අධිකාරි ඉංජිනේරු ධනුෂ්ක දිසානායක මහතා පැවසීය.
උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙළ සහ හීල්ඔය අසළ දුම්රිය මාර්ගයේ 162/54 සැතපුම් කණුව අසළ අද උදෑසන උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු නානුඔය සිට බණ්ඩාරවෙළ දක්වා සීමා කරනු ලැබීය.
දුම්රිය මාර්ගයට කඩා වැටුණු පස් කන්ද සහ ගල් දුම්රිය මාර්ග නඩත්තු අංශයේ සේවකයින් විසින් කපා ඉවත්කිරීමෙන් අනතුරුව මෙලෙස උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යථා තත්ත්වට පත්කර ඇති බව ධනුෂ්ක දිසානායක මහතා පැවසීය.
