“ස්වභාවික විපත් හමුවේ වුවද අධ්යාපනය අඛණ්ඩව පවත්වා ගෙන යාමට සැලසුම් සකස් කළ යුතුයි” – අග්රාමාත්ය
රටේ අධ්යාපනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී අපේ මූලික පරමාර්ථය විය යුත්තේ දරුවන් බවත්, ස්වභාවික විපත් ඇතුළු රටක් වශයෙන් මුහුණ දිය හැකි ඕනෑම අර්බුදකාරී තත්ත්වයක් හමුවේ වුවද, අධ්යාපනය කිසිඳු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්ය සැලසුම් දිස්ත්රික් හා පළාත් මට්ටමින් සම්පාදනය කළ යුතු බවත් අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තිය අධ්යාපන අමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ප්රකාශ කළා ය.
ඊයේ (17) ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේදී පළාත් අධ්යාපන බලධාරීන් සමඟ පැවති පාසල් සංවර්ධන ප්රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින්, අග්රාමාත්යවරිය මේ බව සඳහන් කළා ය.
නව අධ්යාපන ප්රතිසංස්කරණවලට අනුකූලව ක්රියාත්මක වන සංවර්ධන ව්යාපෘතිවල වත්මන් ප්රගතිය සමාලෝචනය කිරීම, ඉදිරි සැලසුම් සම්පාදනය සඳහා අවශ්ය අදහස් ලබා දීම හා යෝජනා විමසීම මෙම සාකච්ඡාවේ ප්රධාන අරමුණ විය.
යෝජිත අධ්යාපන ප්රතිසංස්කරණවලට සමගාමීව අධ්යාපනය ඩිජිටල්කරණය කිරීම, පාසල්වල යටිතල පහසුකම් නැංවීම මෙන්ම ශිෂ්ය සුබසාධන වැඩසටහන්වල වත්මන් ප්රගතිය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එමෙන්ම,පවත්වන ලද ගුරු විභාගයේ ප්රතිඵලවලට අනුව ඉදිරි සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සහ බඳවා ගැනීමේ ක්රියාපටිපාටිය සම්බන්ධයෙන් ද පැමිණ සිටි පළාත් අධ්යාපන බලධාරීන් දැනුවත් කිරීමට ද පියවර ගැනිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්යවරිය පවසා සිටියේ, පාසල් පද්ධතිය තුළ පරිපාලන කටයුතු සහ ඉගැන්වීම්-ඉගෙනුම් ක්රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) සක්රීයව භාවිත කිරීමට පියවර ගන්නා බවයි.
තවද, ඩිජිටල් උපාංග භාවිතයේදී දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සුදුසු වයස් සීමාවන් සහ කාල වේලාවන් පිළිබඳ උපදෙස් මාලාවක් (Safety Guidelines) සැකසීමටත්, ඒ පිළිබඳව ගුරුවරුන් හා දෙමාපියන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ක්රියාත්මක කිරීමටත් සැලසුම් කර ඇති බවත් අග්රාමාත්යවරිය මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළාය.
එල් නීනෝ (El Niño) හා නොයෙකුත් ආපදා තත්ත්වයන් හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි අධික වැසි මෙන්ම නියං තත්ත්ව අධ්යාපන ක්රියාවලියට බලපාන ආකාරය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කළ අග්රාමාත්යවරිය, එවැනි ආපදා තත්ත්වයන් හමුවේ දරුවන්ගේ පෝෂණයට සහ සෞඛ්යාරක්ෂාවට සිදුවිය හැකි බලපෑම් අවම කිරීමට ක්රියාමාර්ග ගත යුතු බවද කියා සිටියාය.
විශේෂයෙන්ම, අධික උෂ්ණත්වය පවතින කාලවලදී ක්රීඩා උත්සව ආදිය සංවිධානය කිරීමේදී දරුවන් අපහසුතාවයට හා අනවශ්ය වෙහෙසකට පත් නොවන අයුරින් කටයුතු කරන ලෙසත්, අනවශ්ය වියදම් පාලනය කරගන්නා ලෙසත් ඇය උපදෙස් ලබා දුන්නාය.
තවදුරටත් ක්රියාත්මක වෙමින් පවතින පැරණි සංවර්ධන ව්යාපෘති කඩිනමින් අවසන් කර නව ව්යාපෘති සඳහා අවස්ථාව සලසා ගත යුතු බව පෙන්වා දුන් අග්රාමාත්යවරිය, අධ්යාපන ක්ෂේත්රයේ තීරණ ගැනීමේදී ප්රදේශීය හෝ දිස්ත්රික් භේදයකින් තොරව, සෑමවිටම දරුවන්ගේ සුබසාධනය හා අඛණ්ඩ අධ්යාපනයට ප්රමුඛස්ථානයේ තැබිය යුතු බව ද වැඩිදුරටත් අවධාරණය කළාය.
මෙම අවස්ථාව සඳහා අධ්යාපන හා උසස් අධ්යාපන නියෝජ්ය අමාත්ය වෛද්ය මධුර සෙනෙවිරත්න, අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ ලේකම් නාලක කලුවැව යන මහත්වරුන් ඇතුළු අමාත්යාංශයේ නිලධාරීන් පිරිසක් පැමිණ සිටියහ.
