“වස විසෙන් තොර පලතුරු දරුවන්ට” ජාතික වැඩපිළිවෙළේ තවත් පියවරක් අනුරාධපුරයෙන් ඇරඹේ!

“වස විසෙන් තොර පලතුරු දරුවන්ට” ජාතික වැඩපිළිවෙළේ තවත් පියවරක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (16) අනුරාධපුරයේදී ක්‍රියාත්මක කෙරිණි.

ලෝක ආහාර දිනයට සමගාමීව සංවිධානය කළ මෙම වැඩසටහනේදී පලතුරු සෞඛ්‍යාරක්ෂිතව ඉදවීමේ ක්‍රමවේද පිළිබඳව අදාළ පාර්ශ්වයන් දැනුවත් කිරීම සිදු වූ අතර, පලතුරු වෙළෙඳුන්ගේ තොරතුරු ඇතුළත් ඩිජිටල් දත්ත පද්ධතියක් සඳහා ලියාපදිංචි කිරීමේ කටයුතු ද අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණි.

පාරිභෝගික ජනතාවට, විශේෂයෙන්ම දරුවන්ට, සෞඛ්‍යාරක්ෂිත පලතුරු ලබාදීම සහ පලතුරු ඉදවීම සඳහා විද්‍යාත්මකව පිළිගත් හා අනුමත ක්‍රමවේද භාවිත කිරීමට වෙළෙඳුන්, නිෂ්පාදකයන් සහ ගොවීන් යොමු කිරීම මෙම ජාතික වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණයි.

පලතුරු කෘත්‍රිමව ඉදවීමේදී අනුමත ක්‍රමවේදවලින් බැහැරව රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම සහ නිසි තාක්ෂණික උපදෙස් අනුගමනය නොකිරීම පාරිභෝගික සෞඛ්‍යයට බරපතළ අවදානම් ඇති කළ හැකිය. එබැවින් විද්‍යාත්මකව පිළිගත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ප්‍රචලිත කිරීම කෙරෙහි මෙම වැඩපිළිවෙළ යටතේ විශේෂ අවධානයක් යොමු කර තිබේ.

2026 ඔක්තෝබර් 01 වැනිදා ලෝක ළමා දිනයට සමගාමීව ප්‍රකාශයට පත් කරන ලද මෙම ජාතික වැඩපිළිවෙළ යටතේ 2027 අප්‍රේල් මාසයේ සිට සෞඛ්‍යාරක්ෂිත නොවන හා නියමිත ක්‍රමවේදවලට පටහැනිව පලතුරු කෘත්‍රිමව ඉදවන පාර්ශ්වයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඊට පෙර පලතුරු වෙළෙඳුන්, ගොවීන් සහ අදාළ නිෂ්පාදකයන් දැනුවත් කිරීම, පුහුණු කිරීම සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීම සිදු කෙරේ.

අනුමත ක්‍රමවේද යටතේ පලතුරු ඉදවීම පිළිබඳ තාක්ෂණික දැනුම ලබාදීම, අනුමත රසායනික ද්‍රව්‍ය නිවැරදිව භාවිත කිරීම පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ලබාදීම සහ අවශ්‍ය මූල්‍ය සහාය සැලසීම සඳහා පියවර ගැනීමට නියමිතය.

මෙම ජාතික වැඩපිළිවෙළේ තාක්ෂණික හවුල්කරු ලෙස ජාතික පසු අස්වනු තාක්ෂණ කළමනාකරණ ආයතනය කටයුතු කරයි.

පලතුරු වගා කිරීමේ සිට පාරිභෝගිකයා අතට පත්වන තෙක් සෑම අදියරකදීම ආහාර සුරක්ෂිතතාව තහවුරු කරමින්, සෞඛ්‍ය සම්පන්න දරු පරපුරක් බිහිකිරීම සඳහා සුරක්ෂිත පලතුරු පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම මෙම ජාතික වැඩපිළිවෙළේ අපේක්ෂාව වේ.

මෙම අවස්ථාවට ජාතික පසු අස්වනු තාක්ෂණ කළමනාකරණ ආයතනයේ සභාපති මහාචාර්ය රෝහිත ප්‍රශාන්ත මහතා, මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ ආචාර්ය ප්‍රියංගා දිසානායක මහත්මිය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සමන්තා කරුණාරත්න මහත්මිය සහ පාරිභෝගික සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

END/GONP/MMP/181020206

Leave a Reply

Your email address will not be published. Required fields are marked *