තංගල්ල මූලික රෝහලට රුපියල් මිලියන 3,090ක නව ශල්‍ය වාට්ටු සංකීර්ණයක්

තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර සේවා පුළුල් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 3,090ක වියදමින් තට්ටු නවයකින් සමන්විත නව ශල්‍ය වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පසුගියදා රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී පැවති කළමනාකරණ කමිටු රැස්වීමේදී රෝහලේ පවතින ගැටලු සහ සංවර්ධන සැලසුම් පිළිබඳව සාකච්ඡා කෙරිණි.

නව ශල්‍ය වාට්ටු සංකීර්ණයට අමතරව තට්ටු පහකින් සමන්විත වෛද්‍ය වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීම, සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් සහ අවශ්‍ය නවීන වෛද්‍ය උපකරණ ලබාදීම කෙරෙහි ද අවධානය යොමු විය.

එහි ඉදිකිරීම් මෙම වසර අවසානයේ ආරම්භ කිරීමටත් අදියර හතරක් යටතේ ව්‍යාපෘතිය නිම කිරීමටත් අපේක්ෂා කෙරේ.

ඇඳන් 339ක ධාරිතාවකින් යුත් තංගල්ල මූලික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල අවශ්‍යතා, ගිලන් රථ පහසුකම් සහ අනෙකුත් සම්පත් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. රෝහල පළාත් සභාව යටතේ පාලනය වන බැවින්, අදාළ පළාත් සභාව සමඟ සම්බන්ධීකරණයෙන් සහ මධ්‍යම රජයේ අරමුදල් ද යොදා ගනිමින් සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සාලිය සඳරුවන් මදුරසිංහ මහතා ඇතුළු සෞඛ්‍ය බලධාරීහු සහ රෝහල් කාර්ය මණ්ඩල නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ.

END/GONP/MMP/18102026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *