වෙරළ සංරක්ෂණ කටයුතු පිළිබඳව පරිසර අමාත්‍යවරයාගේ විශේෂ අවධානය
වත්තල පමුණුගම වහටියගොඩ වෙරළ තීරයේ සහ දික්ඕවිට තල්දියවත්ත ප්‍රදේශයේ විශේෂ ස්ථානීය නිරීක්ෂණ දෙකක් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (12) සිදු කෙරිණි.
වහටියගොඩ වෙරළ තීරයේ වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා ඉදිකර ඇති ගේබියන් වැටිය නිරීක්ෂණය කළ අමාත්‍යවරයා, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නියම කර ඇති සීමාවන්ට ඔබ්බෙන්ද එය ඉදිකර ඇති බව නිරීක්ෂණය කළේය.
ඒ අනුව, ගේබියන් වැටියේ ඉදිකිරීම් කටයුතු නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව නතර කරන ලෙසත්, ඒ සඳහා ලබාදී ඇති අනුමැතීන් සහ ඉදිකිරීම් සිදුකර ඇති ආකාරය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මේ අතර, දික්ඕවිට තල්දියවත්ත ප්‍රදේශයේදී මුහුදු රළ ප්‍රබල වීම හේතුවෙන් හානියට පත් නිවසක්ද අමාත්‍යවරයා නිරීක්ෂණය කළේය.
වෙරළ ඛාදනය හා මුහුදු රළ හේතුවෙන් ජනතාවගේ ජීවිත හා දේපළවලට සිදුවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික අධ්‍යයන කඩිනමින් සිදුකර, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය කෙටිකාලීන හා දිගුකාලීන ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙම නිරීක්ෂණ චාරිකාවට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීහු එක්ව සිටියහ.
