අපේ උත්සාහය සියලු දෙනාට සමානව සලකන ගෞරවනීය අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීමයි – අගමැතිනිය

සියලු දෙනාට සමානව සලකන, ගෞරවනීය අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීම රජයේ ජාතික ප්‍රතිපත්තියේ මූලික අරමුණක් වන බවත්, එහිදී ආබාධ සහිත සිසුන්ගේ අනාගතය ගොඩනැගීමේ වගකීම ද රජයක් ලෙස භාරගෙන ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

ජනාධිපති අරමුදල මගින් සංවිධානය කළ “සරසවි දිරියෝ අභිමන්” – ආබාධ සහිත විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීම වෙනුවෙන් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනයේදී 2026.09.12 දින පැවති උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

එම වැඩසටහනේ තුන්වන අදියර ලෙස නැගෙනහිර පළාතේ පිහිටි නැගෙනහිර සහ අග්නිදිග යන විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් 50 දෙනෙකු වෙත ඇගයීම් සහතික සහ ලක්ෂය බැගින් වූ මූල්‍ය ප්‍රදානය කිරීම මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් සිදු කළාය. එමෙන්ම, ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමේදී නැගෙනහිර පළාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම්වරුන් දැක්වූ සහයෝගය ඇගයීමද සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය මෙසේද පවසා සිටියාය,

මට ඔබ සියලු දෙනා ගැනම විශාල ආඩම්බරයක් දැනෙනවා. අභියෝග හමුවේ වුවද පසුනොබැස ඉදිරියට යන ආකාරය සම්බන්ධව හොඳ ආදර්ශයක් ඔබ ලෝකයට ලබා දීලා තියෙනවා. ඒ ගමනේ දී ඔවුන්ව ආරක්ෂා කරමින් රැකවරණය ලබාදුන් මව්පියන්ට ද මම අතිශයින්ම ස්තූතිවන්ත වෙනවා.

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, අප උත්සාහ දරන්නේ සියලු දෙනාටම සමානව සලකන අධ්‍යාපන පද්ධතියක් හරහා ගෞරවනීය සමාජයක් ගොඩනගන්නයි. ඒ නිසා තමයි විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට මෙන්ම, අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ද මාසිකව රුපියල් 5000 ක දීමනාවක් ලබාදීම ට අප කටයුතු කළේ.

නිදහස් අධ්‍යාපන සංකල්පයට අනුව අප සිසුන්ට පොත්පත්, දිරි දීමනා ලබාදීම විතරක් නෙමෙයි, ඉගෙනීමට අවශ්‍ය සුබදායී පරිසරයක්ද සෑදිය යුතුයි. ඒ හේතුව මුල්කර ගනිමින් තමයි විශ්වවිද්‍යාල තුළ නේවාසිකාගාර 55ක් ඉදිකිරීම ඔස්සේ සිසුන් 16000කට පමණ ප්‍රතිලාභ ලබාදීමේ ව්‍යාපෘතියක් අප ආරම්භ කළේ. ඒවා ආබාධ සහිත සිසුන්ගේ පහසුව තකා සකස් කළ විශේෂ සැලැස්මකට අනුව ගොඩනැගීමට අප සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම, අප නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා විශ්වවිද්‍යාල හා පාසල්වල සිටින ආබාධිත සිසුන්ට අවශ්‍ය වන ඩිජිටල් හා වෙනත් උපකරණ නිෂ්පාදනය කර, බෙදාදීම සඳහා.එසේම, එම සිසුන් ආර්ථික වශයෙන් ස්වාධීන කිරීම සඳහා ද රැකියා පුහුණු කිරීමේ හා රැකියාගත කිරීමේ වැඩසටහන් ආරම්භ කර තිබෙනවා.

තවද, අප මේ වන විට පාසලේ සිට ම වෘත්තීය අධ්‍යාපනයට ප්‍රවේශය සලසා දෙමින්, රැකියා ක්ෂේත්‍රයට සිසුන්ව හුරුකරන ක්‍රියාවලියක් ද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.මේ සියල්ලම තුළින් අප බලාපොරොත්තු වන්නේ තමන් පිළිබඳව ඇති විශ්වාසය ගොඩනගා, රැකියා ක්ෂේත්‍රය තුළ ඉහළට යා හැකි ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් ගොඩනගන්නයි. ඒ වගේම රටක් ලෙස අප මේ ආරම්භ කරලා තියෙන පරිවර්තනීය ගමන තුළ ඔබ සියලු දෙනා නායකයින් විය යුතු බවත් අප විශ්වාස කරනවා.

රටක් සංවර්ධනය කිරීමට හැකි වන්නේ ආණ්ඩුවක් වෙනස් වූ පමණින් නෙමෙයි, ආණ්ඩුවත්, රටේ නිලධාරීන් හා පුරවැසියනුත් එකම සිහිනයක්, එකම අරමුණක් වෙනුවෙන් එකතුවෙලා වැඩ කළොත් පමණයි අපට ඒ ඉලක්කය කරා ළඟා වීමට හැකි වන්නේ. නව ආණ්ඩුවක් ලෙස අප සම්පූර්ණ කළ අවුරුදු දෙකක කාලය තුළ, අප ඒ ගමන සුබදායී ව යාමට අවශ්‍ය අවකාශය සලසා තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජනාධිපති අරමුදලේ නිලධාරින්, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, ශිෂ්‍යත්වලාභි සිසුන් සහ දෙමව්පියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

END/GONP/MMP/13092026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *