ආපදා හා හදිසි අවස්ථාවන්හිදී කාන්තාවන් හා ගැහැණු ළමුන්ගේ සෞඛ්යය සුරක්ෂිත කිරීමට ඩොලර් 250,641ක මානූෂීය ආධාර තොගයක් මෙරටට
ආපදා හා හදිසි අවස්ථාවන්හිදී විශේෂයෙන් අවදානමට ලක්වන කාන්තාවන්, ගැහැණු ළමුන් සහ ගැබිණි මව්වරුන්ගේ සෞඛ්ය හා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 250,641ක් වටිනා හදිසි ආපදා මානූෂීය ආධාර තොගයක් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය වෙත සැප්තැම්බර් 11වෙනි දා පස්වරුවේ නිල වශයෙන් භාර දෙන ලදී.
ශ්රී ලංකාවේ ආපදා පෙර සූදානම ඉහළ නැංවීම සහ ආපදා අවස්ථාවන්හිදී අවශ්ය සෞඛ්ය මැදිහත්වීම් කඩිනමින් ක්රියාත්මක කිරීමේ හැකියාව ශක්තිමත් කිරීම මෙහි ප්රධාන අරමුණ වේ.
මෙම මානූෂීය ආධාර තොගය සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා වෙත ශ්රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine), ශ්රී ලංකාවේ ඕස්ට්රේලියානු නියෝජ්ය මහකොමසාරිස් රූත් බෙයාර්ඩ් (Ruth Baird) සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්රී ලංකා වැඩබලන නියෝජිත ෆුන්ට්ෂෝ වංයෙල් (Phuntsho Wangyel) යන මහත්ම මහත්මීන් විසින් පවුල් සෞඛ්ය කාර්යාංශයේදී භාර දෙන ලදී.
ඕස්ට්රේලියානු සහ නවසීලන්ත රජයන්හි මූල්ය දායකත්වයෙන් ක්රියාත්මක මෙම වැඩසටහන මඟින් ආපදා තත්ත්වයන්හිදී කාන්තාවන්, ගැහැණු ළමුන්, ගැබිණි මව්වරුන් සහ වැඩිහිටි පුද්ගලයන් සඳහා අවශ්ය සෞඛ්ය, සනීපාරක්ෂක හා ආරක්ෂණ පහසුකම් කඩිනමින් සැලසීමේ හැකියාව ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.
ආධාර තොගයට ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතු කූඩාරම් 08ක්, සූර්ය බලශක්ති ආලෝක පද්ධති සහිත කූඩාරම් 03ක්, පවුල් සෞඛ්ය සේවා නිලධාරිනියන් සඳහා ගමන් කට්ටල (Midwifery Go-Bags) 999ක්, ගැබිණි මව්වරුන් සඳහා භාණ්ඩ කට්ටල (Maternity Kits) 1,283ක්, වැඩිහිටි කට්ටල (Elderly Kits) 246ක් සහ කාන්තාවන් හා ගැහැණු ළමුන් සඳහා සනීපාරක්ෂක හා අත්යවශ්ය භාණ්ඩ ඇතුළත් කට්ටල (Dignity Kits) 1,659ක් ඇතුළත් වේ.
ආධාර තොගය භාරගැනීමෙන් අනතුරුව අදහස් දැක්වූ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, ශ්රී ලංකාව ස්වභාවික ආපදා තත්ත්වයන්ට නිරන්තරයෙන් මුහුණදෙන රටක් බැවින් ආපදා පෙර සූදානම තවදුරටත් ශක්තිමත් කිරීම අත්යවශ්ය බවයි.
ගංවතුර, නායයෑම් ඇතුළු විවිධ ස්වභාවික ආපදා හේතුවෙන් ලොව පුරා ජනතාව දැඩි බලපෑම්වලට ලක්වන බවත්, පසුගිය නොවැම්බර් මාසයේදී ශ්රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව ද එවැනි හදිසි ආපදා තත්ත්වයකට උදාහරණයක් බවත් අමාත්යවරයා පෙන්වා දුන්නේය.
ස්වභාවික ආපදාවකින් සිදුවිය හැකි සමස්ත හානිය පූර්වයෙන් සම්පූර්ණයෙන් පුරෝකථනය කිරීම දුෂ්කර බැවින්, ආපදාවක් ඇති වූ පසු ප්රතිචාර දැක්වීමට පමණක් සීමා නොවී, ආපදාවකට පෙර අවශ්ය සම්පත්, මානව සම්පත් සහ පහසුකම් සූදානම් කර තැබීම අත්යවශ්ය බවද අමාත්යවරයා අවධාරණය කළේය.
එවැනි විධිමත් ආපදා පෙර සූදානමක් තුළින් මිනිස් ජීවිත ආරක්ෂා කර ගැනීමටත්, ආපදාවෙන් දිවි බේරාගත් ජනතාවට අවශ්ය කෙටිකාලීන සෞඛ්ය හා මානූෂීය පහසුකම් කඩිනමින් සැලසීමටත් හැකි වන බවද අමාත්යවරයා පැවසීය.
විශේෂයෙන්ම ආපදා අවස්ථාවන්හිදී කාන්තාවන්, ගැහැණු ළමුන් සහ ගැබිණි මව්වරුන් වැනි අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල සෞඛ්ය හා ආරක්ෂණ අවශ්යතා නොසලකා හැරිය නොහැකි බව පෙන්වා දුන් අමාත්යවරයා, එම අවශ්යතා සඳහා ප්රතිචාර දැක්වීමට අවශ්ය පහසුකම් හා සම්පත් පූර්වයෙන් සූදානම් කර තැබීම සෞඛ්ය පද්ධතියේ ආපදා ප්රතිචාර ධාරිතාව ශක්තිමත් කිරීමට ඉවහල් වන බවද සඳහන් කළේය.
මෙම මානූෂීය ආධාර සඳහා මූල්ය දායකත්වය ලබාදෙමින් ශ්රී ලංකාවේ ආපදා පෙර සූදානම සහ සෞඛ්ය සේවා ප්රතිචාර ධාරිතාව ශක්තිමත් කිරීමට ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් ඕස්ට්රේලියානු සහ නවසීලන්ත රජයන්ටත් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලටත් ශ්රී ලංකා රජය වෙනුවෙන් අමාත්යවරයා සිය කෘතඥතාව පළ කළේය.
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ මෙහෙයවීම යටතේ මෙම ආධාර තොගය ආපදා අවදානම ඉහළ දිස්ත්රික්කවල උපායමාර්ගිකව පෙර ස්ථානගත කිරීමට නියමිතය.
ආපදා අවස්ථාවකදී මාර්ග හා ප්රාදේශීය යටිතල පහසුකම්වලට සිදුවන හානි හේතුවෙන් ඇතිවිය හැකි ප්රවාහන ප්රමාදයන් අවම කරමින් හදිසි අවස්ථාවන්හිදී මැදිහත්වන සෞඛ්ය වෘත්තිකයන්ට අවශ්ය උපකරණ හා සම්පත් අදාළ ප්රදේශ තුළදීම ලබාගැනීමටත් ජනතාව වෙත අත්යවශ්ය හදිසි සෞඛ්ය සේවා කඩිනමින් සැපයීමටත් හැකියාව ලැබෙනු ඇත.
මෙම අවස්ථාවට සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම් විශේෂඥ වෛද්ය කුමාර වික්රමසිංහ, නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය වින්ද්යා කුමාරපේලි, පවුල් සෞඛ්ය කාර්යාංශයේ අධ්යක්ෂ වෛද්ය චන්දිම සිරිතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්යාංශයේ අංශ ප්රධානීන්, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ සහ ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
