හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන ගුණසමරුව පැවැත්වෙයි!
හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන අනුස්මරණය වෙනුවෙන් සංවිධානය කරන ලද දානමය පිංකම ඊයේ(12)විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ ලක්ෂ්මන් කදිරගාමර් අන්තර්ජාතික සම්බන්ධතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනය (LKIIRSS) විසින් පවත්වන ලදී.
කොළඹ ශ්‍රී සම්බෝධි විහාරවාසී, රාජකීය පණ්ඩිත පූජ්‍ය මහනුවර අමිත ගවේෂී හිමියන් ඇතුළු මහා සංඝරත්නය හත්නමකගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරිණි. එහිදී අනුශාසනාව සිදු කළ පූජ්‍ය මහනුවර අමිත ගවේෂී හිමියෝ, දිවංගත අමාත්‍යවරයාගේ රාජ්‍ය තාන්ත්‍රික සේවය, ජාතික සමඟිය උදෙසා වූ කැපවීම සහ රට වෙනුවෙන් ඉටුකළ මෙහෙවර සිහිපත් කළහ. අනතුරුව පිරිත් සජ්ඣායනා කර, ආයතනයේ ඉදිරි කටයුතු වෙනුවෙන් ආශීර්වාද කරන ලදී.
මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, දිවංගත අමාත්‍යවරයාගේ බිරිඳ සහ LKIIRSS පාලක මණ්ඩලයේ ආයුකාලීන සාමාජිකා සුගන්ධි කදිරගාමර් සහ LKIIRSS වැඩබලන විධායක අධ්‍යක්ෂ තුෂාර රොද්‍රිගෝ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. පාලක මණ්ඩලයේ සාමාජිකයින්, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආයතන කාර්ය මණ්ඩලය ද මෙයට එක්ව සිටියහ.
