සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් හිඟය පියවීමට කඩිනම් බඳවා ගැනීම්

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත තවදුරටත් ශක්තිමත් කරමින් ජනතාවට වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීම අරමුණු කරගනිමින්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින්  ක්‍රියාත්මක සැලසුම් සහගත මානව සම්පත් සංවර්ධන වැඩපිළිවෙළ යටතේ  වාග් චිකිත්සක තනතුර සදහා උපාධිධාරීන්  (Speech Therapists) 52 දෙනෙකු සෞඛ්‍ය සේවාවට බඳවා ගැනීමටත්, විකිරණ ශිල්පී තනතුර සදහා  අනුස්ථාපන හා සමායෝජන පුහුණු පාඨමාලාවට (radiographer training for orientation and coordination programme) උපාධිධාරීන් සඳහා 64 දෙනෙකු බඳවා ගැනීමටත් පියවර ගැණින.

ඊට අදාළ පත්වීම් ලිපි හා බඳවා ගැනීමේ ලිපි ප්‍රදානය කිරීම  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ නව ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහි දී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය සේවයට එක්වන සෑම පුද්ගලයෙකුම රාජ්‍ය තනතුරකට පත්වීමක් ලබාගන්නා අයෙකු ලෙස නොව, සුවහසක් ජනතාවගේ ජීවිත සුවපත් කිරීමට, ජීවිතයක් බේරා ගැනීමට සහ ජනතාවගේ ජීවිත නීරෝගී කිරීමට දායක වීමට ලැබෙන දුර්ලභ අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව සැලකිය යුතු බව පැවසීය.

සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් අවශ්‍යතාව සපුරාලීම සඳහා මේ වන විට කඩිනමින් බඳවා ගැනීම් සිදුකරමින් පවතින බවත්, වර්තමානයේ සෞඛ්‍ය සේවාව පුළුල් කරමින් යන බැවින් මෙම බඳවා ගැනීම් අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා පැවසීය.

සෞඛ්‍ය සේවාව සඳහා කඩිනමින් බඳවා ගැනීම් සිදුකරන අතරම උසස්වීම් ලබාදීමටද කටයුතු කරමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා, වත්මන් රජය මෙරට ආර්ථික තත්ත්වයට ගැළපෙන ආකාරයෙන් රාජ්‍ය සේවකයන් සඳහා වැටුප් වැඩි කිරීම් සිදුකරමින් සිටින බවද සඳහන් කළේය.

රටට අවශ්‍ය වන්නේ කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් වන විට ඉදිරියේදී රාජ්‍ය සේවකයන් සඳහා තවත් වැටුප් හා දීමනා ලබාදීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

සෞඛ්‍ය සේවාව වෙනුවෙන් වෙන්කරන මුදල් කිසිදු අයුරකින් අඩු නොකරන බව මෙහි දී අවධාරණය කළ අමාත්‍යවරයා, නවීන තාක්ෂණය, නවීන වෛද්‍ය උපකරණ සහ ගොඩනැගිලි පහසුකම් සෞඛ්‍ය පද්ධතියට අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

ජාතික හෘද රෝහලේ ඉදිකිරීම් මෙම වසර තුලදී  කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්, එම ඉදිකිරීම් වසර තුනක් තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

රජයේ රෝහල් පද්ධතිය සතුව දැනට පවතින හෘද කැතීටකරණ ඒකක සංඛ්‍යාව 10ක් වන අතර, එම සංඛ්‍යාව මෙම වසර තුළදී 26 දක්වා වැඩි කිරීමට කටයුතු කරමින් සිටින  බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

නවීන වෛද්‍ය හා තාක්ෂණික උපකරණ රැසක් සෞඛ්‍ය පද්ධතියට ලබාදී ඇති නමුත්, එම උපකරණවලින් උපරිම කාර්යක්ෂමතාවයෙන් සේවාවන් ලබාගැනීම සඳහා අවශ්‍ය මානව සම්පතේ යම් හිඟයක් පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එම මානව සම්පත් හිඟය පියවීම සඳහා මෙවැනි බඳවා ගැනීම් සිදුකරන බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

රෝගීන්ගේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන ක්‍රියාවලිය තුළ වාග් චිකිත්සක සේවාවට හිමිවන්නේ සුවිශේෂී වැදගත්කමකි. විශේෂයෙන් කථන හා භාෂා ආබාධ සහිත රෝගීන්ගේ සුවය හා දෛනික ජීවන තත්ත්වය යළි ගොඩනැංවීම සඳහා මෙම සේවාව අත්‍යවශ්‍ය දායකත්වයක් සපයයි.

එමෙන්ම විකිරණ ශිල්පී අනුස්ථාපන සමායෝජන පුහුණුව සඳහා නව උපාධිධාරීන්  එක්කර ගැනීම මගින් සෞඛ්‍ය සේවාවේ අදාළ තාක්ෂණික ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය වෘත්තීය හා පුහුණු මානව සම්පත තවදුරටත් වර්ධනය වේ.

ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා වෙනස් වන ආකාරයට ඊට සරිලන මානව සම්පත නිසි පරිදි සැලසුම් කර සංවර්ධනය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ කාර්යයක් වන අතර, ඒ ඔස්සේ රෝගීන්ට වඩාත් කාර්යක්ෂම, ගුණාත්මක හා අඛණ්ඩ සෞඛ්‍ය සේවාවක් තහවුරු කිරීමට අමාත්‍යාංශය අඛණ්ඩව කටයුතු කරමින් සිටී.

මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම්වරුන් වන  ජනක කිත්සිරි ගුණවර්ධන, චාමික එච්. ගමගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්වන විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ, හර්ෂප්‍රිය සිසිර කුමාර, අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත රණසිංහ යන මහත්වරුන් මෙන්ම වෘත්තිය සමිති නියෝජිතයින්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

END/GONP/MMP/13082026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *