ගිංඟගේ පාවී ආ අල්මේදාගේ ඝාතනයට සැක පොලිස් නිලධාරියෙක් 17 දක්වා රක්ෂිත බන්ධනාගාරයට – දමිත් සඳනුවන් කීර්ති
ගිං ගඟේ ගිල්වා මරා දමා තිබියදී පසුගියදා හමුවූ ‘අල්මේදා’ නොහොත් විරාජ් රශ්මික නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා ඊයේ ( 04දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ රමේෂ් ලක්ෂාන් නැමැති මෙම පොලිස් නිලධාරියා, පෝද්දල පොලිසිය මඟින් බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බද්දේගම මහේස්ත්‍රාත්වරයා විසින් එළඹෙන මෙම මස 17 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ ඇත.
ඝාතනයට ලක් වූ විරාජ් රශ්මික හෙවත් අල්මේදා නම් පුද්ගලයා ගාල්ල දිසා අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගෙන සිටි බවට තොරතුරු අනාවරණය වී ඇත්තේ ගාල්ල අපරාධ කොට්ඨාශයේ රඳවා ගැනීමේ නියෝග මත අත්අඩංගුවේ පසුවූ විහඟ නමැති සැකකරුවෙකු ලබාදුන් දිවුරුම් පෙත්සමක් පදනම් කරගනිමිනි.
ඝාතනයට ලක්වූ විරාජ් රශ්මික තමා සමඟ ගාල්ල අපරාධ කොට්ඨාශයේ රඳවා සිටිනාා බව එම දිවුරුම් ප්‍රකාශයක් මගින් පෙත්සම්කරු ප්‍රකාශ කර තිබූ අතර, ඒ ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
