ගෙදරට හොරෙන් දිය නාන්න ගිය ලකිදු අවසන් ගමන් යයි
ආරච්චිකට්ටුව සෙන්ගල්ඔය වැලි තුඩුව මංකඩට තම පාසල් මිතුරෙකු සමඟ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේගිලී අවාසනාවන්ත ලෙස මරණයටපත්ව තිබුණි.
මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇත්තේ ආරච්චිකට්ටුව වයිරන්කට්ටුව පදිංචිව සිටි 13 හැවිරිදි එස්.ජේ.එම්.ලකිඳු චාමික නැමති හැලඹවටවන මහා විද්‍යාලයේ 9 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙකු ය.
වැඩිමහල් සොහොයුරියන් දෙදෙනෙකුගෙන් පවුලක බාලයා වු චාමික පසුගිය 19දින සවස පාසල නිමා වී නිවසට පැමිණ, සවස තම පාසලේ මිතුරෙකු සමඟ පාවහන් දෙකක් මිළදී ගැනීමට ආරච්චිකට්ටුව නගරයට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇත.
චාමික නිවසින් පිටව යන මොහොතේ ඔහුගේ මව හා පියා රැකියාවන් සඳහා පිටත්ව ගොස් තිබූ නිසා නිවසේ සිට නැත.
චාමිකගේ පියා හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන අතර මම පුද්ගලික ආයතනයක සේවය කරන බව පැවසෙයි.
මිතුරා සමඟ ආරච්චිකට්ටුව නගරයට යන බව පවසා පිටව ගිය චාමික රහසේම සෙන්ගල්ඔය වැලි තුඩුව මංකඩට ගොස් එහි දියනාමින් සිටියදී සෙන්ගල්ඔයේ ගැඹුරුවලට වැටී මෙලෙස දියේ ගිලී තිබේ.
එම අවස්ථාවේදී චාමික සමඟ ගිය මිතුරා බේරී ඇති අතර ඔහු දියෙන් ගොඩටවිත් තම මිතුරා බේරා දෙන්නැයි කෑගසා ඇති අතර කඩිනමින් එම ස්ථානයට පැමිණි පිරිස චාමිකව සොයා ඇත.
කෙසේ නමුත් පැමිණි පිරිස එක්වී දියේ ගිලී සිටි චාමික ගොඩගෙන ආනවිළුන්දාව රෝහලට රැගෙන යාමට කටයුතුකර තිබු බවත් ඒ වන විටත් ඔහු මෙලොවින් සමුගෙන තිබූ බව කියැවේ.
චාමිකගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණය හලාවත මහ රෝහලේ පැවති අතර එය දියේ ගිලීමෙන් සිදුවු මරණයක් බවට තහවුරු වි තිබුණි.
චාමිකගේ නිසල දේහය ඊයේ දින රාත්‍රියේ නිවසට රැගෙනෙවිත් තිබු අතර අවසන් කටයුතු අද(21)ආරච්චිකට්ටුව පොදු සුසාන භුමියේ සිදු කිරීමට නියමිතව ඇත.

ඉහත ලින්ක් එකෙන් සම්පු ර් න විඩියෝව නැරඹිය හැක
