සංචාරක කර්මාන්තයේ සංවර්ධනයට සුදුසු යටිතල පහසුකම්වලින් ශ්‍රී ලංකාව සමන්විත බව ස්විට්සර්ලන්තය අවධාරණය කරයි. – නදීක දයා බණ්ඩාර

සංචාරක කර්මාන්තය දියුණු කිරීමට හැකි යටිතල පහසුකම් හා සෙසු  විභවතාවයන්ගෙන් ශ්‍රී ලංකාව සමන්විත යැයි ස්විට්සර්ලන්තයේ තානාපති සිරි වෝල්ට් (H.E. Siri Walt) මහත්මිය පවසයි.

දුම්රිය ඇතුලු ප්‍රවාහන පහසුකම්, සංචාරක ආකර්ශනය සහිත හෝටල් ආදී පහසුකම් හේතුවෙන් තව දුරටත් සංචාරක කර්මාන්තය දියුණු කළ හැකි යැයි ඇය සඳහන් කළාය.

නිල සංචාරයක් සඳහා මහනුවරට පැමිණි ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්නත තානාපතිනියගේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද (22) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා හමුවූ අවස්ථාවේදී ඇය මෙම අදහස් පළ කළාය.

ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කළ හැකි කාර්යයන් පිළිබදව ආණ්ඩුකාරවරයා හා තානාපතිනිය සාකච්ඡා කළ අතර සංචාරක කර්මාන්තය දියුණු කිරීමට හැකි ක්‍රමෝපායන් පිළිබදව ද අදහස් පළ කෙරිණි.

මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා කන්ද උඩරට ජන ජීවිතයේ අත්දැකීම් ගත හැකි ක්‍රමයක් සැලසුම් කොට ඇතැයි ආණ්ඩුකාරවරයා කීවේය. එහිදී ආහාර පාන, සංස්කෘතිය හා ජන ජීවිතයට පිළිබදව සංචාරකයන්ට පුළුල් අවබෝධයක් ගත හැකි යැයි ද ආණ්ඩුකාරවරයා කීවේය.

මහනුවර, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවල සංචාරක ආකර්ශනීය ස්ථාන රැසක් පවතින බවත් දිනක් දෙකක් සංචාරය කිරීම වෙනුවට වැඩි දින ගණනක් මධ්‍යම පළාතේ සංචාරක ස්ථාන නැරඹීමේ හැකියාව පවතින බව ද සඳහන් කළේය.

මෙම වර්ෂයේදී ලක්ෂ 10ක් වූ මෙරට සංචාරක පැමිණීම ලබන වර්ෂයේදී ලක්ෂ 15 දක්වා ඉහළ නැංවීමට හැකි යැයි රජය අපේක්ෂා කරන බව ද ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ.ගමගේ මහතා තව දුරටත් සඳහන් කළේය.

සංචාරක දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර මහතා අදහස් දක්වමින්, විදේශීය සංචාරකයන්ට මධ්‍යම පළාතේ සංචාරක ස්ථාන සඳහා පහසුවෙන් ප්‍රවේශවිය හැකි මෘදුකාංග යෙදවුවමක් හදුන්වා දෙන බව කීවේය. එමගින් සෙසු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කළ හැකි යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය අජිත් ප්‍රේමවංශ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *