TISL ආයතනය විසින් X-Press Pearl විනාශයට සම්බන්ධ අල්ලස් සහ දූෂණ චෝදනා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගෙන යයි. (මෙලනි මානෙල් පෙරේරා )

 
මෙම නඩුව හෙට – බ්‍රහස්පතින්දා (ජුනි 15) අධිකරණය විසින් සළකා බලනු ඇති අතර, මෙම සිද්ධියේදී වැරදිකරුවන් වන ඕනෑම අයෙකු එහි සම්පූර්ණ වගකීම දැරිය යුතු බව TISL ආයතනය විසින් අවධාරණය කරයි.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) විසින් පරිසර යුක්ති කේන්ද්‍රය (CEJ) සහ තවත් පෙත්සම්කරුවන් තිදෙනෙකු විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට (SC/FR/168/2021) මැදිහත්වීමේ පෙත්සමක් ජුනි 12 දා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරමින්, X-Press Pearl ඛේදවාචකය වටා ඇති අල්ලස් සහ දූෂණ පිළිබඳ බරපතල චෝදනා ඉස්මතු කළේය.
මෙම මැදිහත්වීමේ පෙත්සම ගොනු කර ඇත්තේ මහජන සුබසාධනය වෙනුවෙන් යැයි ප්‍රකාශ කරන TISL ආයාතනය, X-Press Pearl විනාශය සඳහා වන්දි ඉල්ලීමේ ක්‍රියාවලියේ සිදු වූ අක්‍රමිකතා, තත්වය හැසිරවීමේදී සිදු වී ඇති වැරදි, කඩාකප්පල් කිරීම්, අල්ලස් සහ දූෂණ පිළිබඳ බරපතල චෝදනා ගැන පෙත්සමෙහි සඳහන් කරයි.
මැදිහත්වීමේ පෙත්සම ප්‍රධාන කරුණු කිහිපයක් මතුකරයි. ඒවා නම්,
1. X-Press Pearl හානියට වන්දි ඉල්ලීමේ කටයුතු වලදී සිදු කරන ලද අනවශ්‍ය මැදිහත්වීම් සහ බාහිර පීඩනය පිළිබඳ බරපතල චෝදනා,
2. X-Press Pearl ව්‍යසනයට අදාළව චාමර ගුණසේකර නමින් පෙනී සිටින මංජුසිරි නිස්සංක නැමැත්තෙක්ගේ පුද්ගලික බැංකු ගිණුමකට ඩොලර් මිලියන 250ක මුදලක් ගෙවා ඇති බවට අධිකරණ අමාත්‍යවරයා 2023 අප්‍රේල් 25 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය,
3. X-Press Pearl නැව මුහුදුබත් වීමෙන් පසු වෙරළට ගොඩගැසූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට යන්ත්‍රයක් නිපදවූ චින්තක වරාගොඩ හට එම අනතුරෙන් සිදු වූ මුළු හානිය හෙළිනොවී තබා ගැනීමේ අරමුණෙන් තවත් පාර්ශවයක් විසින් තම යන්ත්‍රය භාවිතය නතර කිරීමට මුදල් ලබා දීමට උත්සාහ කළ බවට ඔහු විසින් මාධ්‍ය ඔස්සේ කළ චෝදනා, සහ
4. X-Press Pearl හානිය නිසා ශ්‍රී ලංකාවට ලැබිය යුතු මුළු වන්දි මුදල පිළිබඳ ප්‍රශ්නය, ආදියයි.
භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන ‘MV X-Press Pearl’ නෞකාව, 2021 මැයි 20 වන දින කොළඹට නුදුරු මුහුදේදී ගිනි ගත් අතර, ප්ලාස්ටික් සහ විෂ රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණ වලින් පරිසරයට මුදා හරිමින් ඉන් දින කිහිපයකට පසු මුහුදුබත් විය. එය ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවූ දරුණුතම සමුද්‍ර හානිය ලෙස සැලකේ. ලබැඳියාවන් අතර ඇති බරපතල ගැටුම නොතකා, ශ්‍රී ලංකාවේ බලධාරීන් X-Press Pearl අනතුරෙන් පසු ක්‍රියාකාරකම්වලදී නැව් හිමියාගේ රක්‍ෂණ සමාගමේ නියෝජිතයෙකු වන International Tanker Owners Pollution Federation Limited (ITOPF) හි සහය ලබා ගෙන ඇති බවට චෝදනා විය.
TISL ආයතනය මේ කරුණ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සහන කිහිපයක් ඉල්ලා ඇත. X-Press Pearl ඛේදවාචකයෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍ර හා වෙරළබඩ පරිසරයට සිදු වූ හානිය හා දූෂණය සැලකිල්ලට ගෙන, එයට සම්බන්ධ පෞද්ගලික පාර්ශවයන්ගේ වගවීම තහවුරු කිරීම සහ උපරිම වන්දි අය කර ගැනීම, ධීවර ප්‍රජාවට සහ සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටින අයට සිදු වූ අලාභය සඳහා වන්දි ගෙවීම, සහ සමුද්‍ර දූෂණය වැලැක්වීමේ පනත යටතේ වන්දි ලබා ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇති සහන අතර වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed