බිත්තරේ රුපියල් සියයට යයිද . .. මහනුවර වාර්තාකරු
ලබන ජනවාරි මාසය පමණ වනවිට රටේ උග්‍ර බිත්තර හිඟයක් නිර්මාණය වී පවතින මිල ගණන් තවත් ඉහළ යෑමේ අවධානමක් වතින බව ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ සභාපති පශු වෛද්‍ය සුසන්ත මල්ලවආරච්චි පවසයි. බිත්තර ලබා ගන්නා කිකිළි පැටවුන්ගේ මව් සතුන් ගේ දැඩි හිඟයක් මේ වන විට රටේ තිබෙන බවත් වාර්ෂිකව අවම වශයෙන් මව් සතුන් 80000 ක් අවශ්‍යය වුවත් මේ වන විට ආනයනය කරනු ලැබ ඇත්තේ සතුන් 10000 ක් පමණක් බවත් ඒ මහතා කීය.
ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ 74 වන වාර්ෂික පර්යේෂණ සැසිය නිමිත්තෙන් පසුගියදා මහනුවර අමායා හෝටලයේදී පැවැති උත්සවය අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මල්ලවආරච්චි මහතා මේ බව ප්‍රකාශ කළේය.
සහල් සහ නිවුඩු හැරුණු විට අනෙකුත් සත්ත්ව ආහාර ආනයනය කරන බවත් පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ආනනයේදී පවතින ගැටලු හේතුවෙන් සත්ත්ව ආහාර මිල බරපතල ලෙස ඉහළ යාම නිසා බිත්තර හා කුකුළු මස් මිල වැඩි වී තිබෙන බවත් සභාපතිරයා පැවසුවේය.
මව් සතුන් මේ අවස්ථාවේ ගෙනාවත් කිකිළි පැටවුන් බෝකර බිත්තර ලබා ගැනීමට අවම වශයෙන් මාස හයක පමණ කාලයක් ගතවන බවද හෙතෙම අවධාරණය කළේය.
බිත්තර තරම් ගැටලුවක් කුකුළු මස් සඳහා ඉදිරියේදී ඇති නොවන බවත් මස් සඳහා අවශ්‍යය සතුන් මේ වන විට ලංකාව තුළ බෝකරන බවත් මල්ලවආරච්චි මහතා පැවසුවේය.
බිත්තර හා කකුළු මස් ආනයනය කිරීම සඳහා වන ඉල්ලීම් රැසක් ලැබෙන නමුත් පශු වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස කිසිසේත් එම ඉල්ලීම් අනුමත නොකරන බවත් බිත්තර හා කුකුළු මස් යනු සජීවී සෛල දෙකක් බැවින් ආනයනයේදී බැක්ටීරියා හා වෛරස් රටට ඇතුළුවීමේ වැඩි ඉඩක් පවතින බවත් ඒ මහතා කීය.
බැක්ටීරියා හා වෛරස් සම්බන්ධ පරික්ෂා කිරීම් වලදී ඉතා කුඩා කොටසක් පමණක් පරීක්ෂාවට ලක්වන බැවින් කන්ටේනර් ප්‍රමාණයෙන් ගෙන්වන කුකුළු හා බිත්තර මගින් අහිතකර බැක්ටීරියා හා වෛරස් රටට ඇතුළු වීමට ඉඩක් තිබෙන බවත් මේ නිසා අපේ රටේ බිත්තර හා කුකුළු මස් කර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ වීමේ අවධානමක් පවතින බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.
ගැටලුව සඳහා දීර්ඝකාලීන විසඳුමකට නොගොස් කෙටි කාලීන විසඳුම් සෙවීමට යාමෙන් ක්ෂේත්රය නැත්තටම නැති වීමේ අවධානමක් තිබෙන බවත් බිත්තර සඳහා මව් සතුන් යුරෝපයෙන් ආනයනය කිරීමේදී නිසි නිරෝධායන වැඩපිළිවෙළක් යටතේ සෞඛ්‍යරක්ෂණ ක්‍රමවේදයකට අනුව එය සිදු කරන බවත් හෙතෙම අවධාරණය කළේය.
එලෙස ආනයනය කරන සතුන් මාස හතරක කාලයක් ගොවිපොළේ දී දැඩි නිරීක්ෂණයකට ලක් කරන බවත් යම් හෝ රෝගී තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නම් එම සතුන් විනාශ කිරීමට පියවර ගන්නා බවත් මල්ලවආරච්චි මහතා කීවේය.
බිත්තර හා කුකුළු මස් මිල විද්‍යාත්මකව ගණනක කිරීමේ ක්‍රමවේදයක් සකස් විය යුතු යැයිද ඒ මහතා කීය.
ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම හා ඒකීය සෞඛ්‍ය ප්රවේශයන් ශක්තිමත් කිරීම සඳහා පශු වෛද්‍යවරුන්ගේ දායකත්වය දිරිමත් කිරීම යන තේමාව යටතේ මෙවර වාර්ෂික විද්‍යාත්මක සැසිය පැවත් විණි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ, පශු වෛද්‍ය සංගමයේ ලේකම් පශු වෛද්‍ය චමරි කන්නංගර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.