යුද හමුදා ඉංජිනේරු සේවා බලකායේ දායකත්වයෙන් දඹේතැන්න ආපදා නිවාස ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට පියවර
පූනාගල කබරගල සහ හාලිඇල මොරගොල්ල ආපදා නිවාස ව්‍යාපෘති සඳහා යුද හමුදා ඉංජිනේරු සේවා බලකායේ දැනුම හා ශ්‍රම දායකත්වය ලබා ගනිමින් කටයුතු කර ඇති ආකාරයටම දඹේතැන්න ආපදා නිවාස ව්‍යාපෘතිය සඳහා ද එම බලකායේ දායකත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා පැවසීය.
දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව සඳහන් කළේ, 2019 වසරේදී ඉදිකිරීම් ආරම්භ කර අතරමඟදී ඇණහිට ඇති දඹේතැන්න ග්‍රාම නිලධාරී වසමේ මාවුස්සාගොල්ල ආපදා නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් පසුගියදා (12) සිදු කළ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
නායයෑම් අධි අවදානම් කලාපයක් වන දඹේතැන්න ග්‍රාම නිලධාරී වසමේ මාවුස්සාගොල්ල වතු කොටසේ ජනතාව මේ වන විටත් අවදානම් ප්‍රදේශවල ජීවත් වන බැවින්, ඔවුන් සඳහා ආරක්ෂිත නිවාස ලබාදීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නිවාස 65ක් ඉදිකිරීමට යෝජනා කර ඇති අතර මේ වන විට නිවාස 34ක අත්තිවාරම් ඉදිකර තිබේ. තවත් නිවාස 24ක් වහල ඉදිකිරීමට හැකි මට්ටම දක්වා ඉදිකර ඇති අතර නිවාස 07ක වහල ඉදිකිරීම් ද අවසන් කර තිබේ.
එමෙන්ම, ව්‍යාපෘතිය යටතේ ජනතාවට අවශ්‍ය ජලය, විදුලිය සහ මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද කටයුතු කෙරේ.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් චමින්ද වීරසිංහ මහතා, හපුතලේ ප්‍රාදේශීය ලේකම්වරිය, දිස්ත්‍රික් ඉංජිනේරු, වතු අධිකාරී, දිස්ත්‍රික් ආපදා සහන සේවා නිලධාරී සහ හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
