පෑලියගොඩ හා කැලණිය වැසි ජලාපවහන ගැටලු විසඳීමට මුදුන් ඇළ ව්‍යාපෘතියක්

මුදුන් ඇළ උප ජලපෝෂක කලාපයට අයත් පෑලියගොඩ සහ කැලණිය ප්‍රදේශවල වැසි ජලාපවහන ගැටලු අවම කිරීම සඳහා ‘මුදුන් ඇළ වැසි ජලාපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය’ 2027-2036 කාලසීමාව තුළ අදියරගතව ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

මුදුන් ඇළ උප ජලපෝෂක කලාපයේ සංවර්ධන කටයුතු කෙරෙහි දැඩි බලපෑමක් සිදු කරන වැසි ජලාපවහන ගැටලු අවම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මෙම ව්‍යාපෘතිය යෝජනා කර ඇත.

2023 වර්ෂයේදී ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) විසින් සිදු කරන ලද මුදුන් ඇළ ද්‍රෝණි කලාපයේ පූර්ව ශක්‍යතා අධ්‍යයනය සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් 2024 වර්ෂයේදී සිදු කරන ලද ශක්‍යතා අධ්‍යයනය මත පදනම්ව මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් මුදුන් ඇළ උප ජලපෝෂක ප්‍රදේශයේ පවතින වැසි ජලාපවහන ගැටලු සඳහා විසඳුම් ලබාදීමටත්, දැනට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි ජල ගැලීම් හේතුවෙන් සිදුවන බලපෑම හා හානිය අවම කිරීමටත් අපේක්ෂා කෙරේ. එමෙන්ම, ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කර ගැනීමට ද මෙමඟින් හැකි වනු ඇත.

රුපියල් මිලියන 46,190.6ක ඇස්තමේන්තුගත මුළු පිරිවැයක් යටතේ මෙම ව්‍යාපෘතිය අදියරගතව ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

END/GONP/MMP/15092026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *