ඉන්දියාවෙන් නීති විරෝධීව ගෙන්වූ පරවියන් 140ක් අත්අඩංගුවට – ප්‍රසාද් පූර්ණමාල්

කල්පිටිය බලකොටුව ආසන්නයේදී සිදුකළ විශේෂ වැටලීමකදී ඉන්දියාවෙන් මුහුදු මාර්ගයෙන් නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද පරවියන් 140 දෙනෙකු සමඟ සැකකරුවන් සිව්දෙනෙකු පෙරේදා (05) අත්අඩංගුවට ගෙන තිබේ.

පුත්තලම කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රමදාස මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ විශේෂ වැටලීම් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

මුදල් ඔට්ටුවට පැවැත්වෙන පරවි තරග සඳහා යොදා ගැනීමට මෙම පරවියන් මෙරටට ගෙන්වා ඇති බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

වැටලීමේදී බෝට්ටුවක්, බෝට්ටු එන්ජිමක් සහ ඩොල්ෆින් වර්ගයේ සුදු පැහැති වාහනයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනාගෙන් එක් අයෙකු මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, අනෙක් තිදෙනා කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය වී තිබේ.

එක් පරවියෙකුගේ වටිනාකම රුපියල් 50,000ත් රුපියල් ලක්ෂයත් අතර වන බවත්, ඒ අනුව අත්අඩංගුවට ගත් පරවියන් 140 දෙනාගේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බවත් වාර්තා වේ.

කල්පිටිය විශේෂ පොලිස් වැටලීම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුගතසිරි ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ පරවියන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *