මඩකලපුවේ තරුණ ප්රජාවගේ ප්රතිපත්තිමය යෝජනා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වෙත සෘජුව ඉදිරිපත් කෙරේ!
විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් මඩකලපුව දිස්ත්රික් තරුණ ප්රජාව වෙනුවෙන් සංවිධානය කළ “Voice to Policy” සංවාද වැඩසටහන පසුගිය 29 වැනිදා මඩකලපුව ඊස්ට් ලැගූන් හෝටල් පරිශ්රයේදී පැවැත්විණි.
මෙහිදී මඩකලපුව දිස්ත්රික්කයේ තරුණ ප්රජාවට සිය අදහස්, ගැටලු සහ ප්රතිපත්තිමය යෝජනා සෘජුවම පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි විය.
විවෘත පාර්ලිමේන්තු සංකල්පය තවදුරටත් ප්රවර්ධනය කිරීමේ අරමුණින් දිවයිනේ සියලු දිස්ත්රික්ක ආවරණය වන පරිදි විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කරනු ලබන වැඩමුළු මාලාවේ පළමු වැඩසටහන ගම්පහ දිස්ත්රික් තරුණ ප්රජාව වෙනුවෙන් පැවැති අතර, මඩකලපුවේ පැවැති වැඩසටහන එහි දෙවැන්නයි.
මෙම වැඩසටහනේ ප්රධාන අරමුණ වූයේ තරුණ ප්රජාවට තමන් මුහුණ දෙන ගැටලු, අදහස් සහ ප්රතිපත්තිමය යෝජනා සෘජුවම පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදීමයි. ඒ අනුව මඩකලපුව දිස්ත්රික්කය නියෝජනය කරමින් තරුණ තරුණියෝ රැසක් මෙම වැඩමුළුවට සහභාගී වූහ.
අධ්යාපනය සහ උසස් අධ්යාපනය සම්බන්ධ ගැටලු, ප්රාථමික අධ්යාපනය නියාමනය, තරුණයන්ගේ දේශපාලන සහභාගීත්වය පුළුල් කිරීම, වෘත්තීය පුහුණුව, රැකියා අවස්ථා, තාක්ෂණය, තරුණ ව්යවසායකත්වය සහ පුහුණු මධ්යස්ථාන ස්ථාපිත කිරීම, මත්ද්රව්ය උවදුර පිටුදැකීම, තොරතුරු වෙත ප්රවේශවීමේ අවස්ථා පුළුල් කිරීම මෙන්ම ප්රමාණවත් ක්රීඩාංගන පහසුකම් නොමැතිවීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් තරුණ ප්රජාව සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ.
විශේෂයෙන් උසස් අධ්යාපන පාඨමාලා සහ උපාධි සම්පූර්ණ කිරීමට ගතවන කාලය අවම කිරීම, දේශපාලනයට සම්බන්ධ වීමට අපේක්ෂා කරන තරුණයන් සඳහා වැඩි අවස්ථා නිර්මාණය කිරීම සහ තරුණ ව්යවසායකත්වය පුළුල් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී වැඩි අවධානයක් යොමු විය.
මෙම වැඩසටහනේ විශේෂත්වයක් වූයේ තරුණ ප්රජාව විසින්ම තම ප්රමුඛ ගැටලු හඳුනාගෙන, ඒවා සාකච්ඡා කර පොදු කරුණු ලෙස වර්ගීකරණය කිරීමෙන් අනතුරුව, ප්රතිපත්තිමය අවධානය යොමු විය යුතු ක්ෂේත්ර හඳුනාගෙන ඒ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සමඟ සෘජු සංවාදයක නිරත වීමයි.
වැඩසටහනේදී ඉදිරිපත් වූ තරුණ යෝජනා පාර්ලිමේන්තුවේ ඉදිරි සලකා බැලීම සඳහා යොමු කිරීමට පාර්ලිමේන්තු සංසදය අවධානය යොමු කළේය. එමෙන්ම අදාළ කරුණු සම්බන්ධයෙන් තරුණ නියෝජිතයන්ට ඉදිරියේදී පාර්ලිමේන්තුවේ අදාළ ආංශික අධීක්ෂණ කාරක සභා සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලබාදීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
තරුණ ප්රජාව විසින් ඉදිරිපත් කරන ලද ගැටලු සම්බන්ධයෙන් මේ වන විට රජය විසින් ගෙන ඇති පියවරයන්හි ප්රගතිය පිළිබඳව ද පාර්ලිමේන්තු මන්ත්රීවරුන් විසින් මෙහිදී කරුණු පැහැදිලි කරන ලදී.
මෙම අවස්ථාවට විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සම සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන චන්දන සූරියආරච්චි, නීතිඥ සුසන්ත දොඩාවත්ත, ලාල් ප්රේම්නාත්, සුනිල් රාජපක්ෂ, එම්.කේ.එම්. අස්ලම්, වෛද්ය ඉලෙයියතම්බි සිරිනාත්, අබූබකර් අතම්බාවා, ලුතිනන් කොමාණ්ඩර් (විශ්රාමික) ප්රගීත් මධුරංග, මේජර් ජෙනරාල් (විශ්රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර, මුහම්මද් ෆයිසාල් සහ ඥානමුත්තු ශ්රීනේසන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙම වැඩමුළුව සඳහා CII (Coalition for Inclusive Impact) ආයතනය අනුග්රාහකත්වය සපයනු ලැබීය.
