එප්පාවල පොස්පේට් සමාගමේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට රු. මිලියන 110ක නව යන්ත්‍රෝපකරණ
එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ නිෂ්පාදන හා මෙහෙයුම් කටයුතු ප්‍රසාරණය කිරීමේ අරමුණින් රුපියල් මිලියන 110ක් වටිනා නව යන්ත්‍රෝපකරණ හා මෙහෙයුම් වාහන නිල වශයෙන් ආයතනය වෙත එක් කිරීම ඊයේ (27) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 79ක වියදමින් වීල් ලෝඩර් යන්ත්‍ර දෙකක්, රුපියල් මිලියන 18ක වියදමින් ටිපර් රථ දෙකක් සහ රුපියල් මිලියන 13ක වියදමින් ෆෝක්ලිෆ්ට් යන්ත්‍ර දෙකක් ආයතනය වෙත භාරදීම සිදු විය.
සමාගමේ මෙහෙයුම් කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා තෝරාගත් නව රියදුරන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.
පසුගිය මාස 20ක කාලය තුළ එප්පාවල ලංකා පොස්පේට් සමාගම සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති අතර, එම කාලසීමාව තුළ රුපියල් මිලියන 76ක වියදමින් නව නිමි භාණ්ඩ ගබඩාවක් ඉදිකිරීමට පියවර ගෙන තිබේ.
එමෙන්ම, අක්‍රීයව පැවති ක්‍රසර් යන්ත්‍රය යළි ක්‍රියාත්මක කිරීම, සමාගමේ නිල වෙබ් අඩවිය සහ Sales Hotline අංකය යළි සක්‍රීය කිරීම ඇතුළු පියවර රැසක් ගෙන ඇත.
පාරිභෝගික විශ්වාසය හා විනිවිදභාවය තහවුරු කිරීමේ අරමුණින් නිෂ්පාදනවල උපරිම සිල්ලර මිල මුද්‍රණය කිරීම, 2026–2030 නව උපායමාර්ගික සැලැස්ම එළිදැක්වීම, APM පොල් පොහොර වෙළෙඳපොළට හඳුන්වාදීම සහ ERP Sample සහනදායී මිලට ලබාදීමද සිදු කර තිබේ.
තවද, Dealers Network ලියාපදිංචි කිරීම සහ සමාගමේම ලොරි රථ මගින් බෙදාහැරීම් කටයුතු ආරම්භ කිරීම හරහා ආයතනයේ සමස්ත මෙහෙයුම් හා බෙදාහැරීම් ජාලය විධිමත් කිරීමට පාලනාධිකාරිය කටයුතු කර ඇත.
මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ සමරකෝන් මහතා, එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ සභාපති ආනන්ද ප්‍රේමකුමාර මහතා ඇතුළු සමාගමේ පාලනාධිකාරිය සහ සේවක මණ්ඩලය එක්ව සිටියහ.
