නිකිණි පුර පසළොස්වක පොහොය අදයි!
නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට(27) යෙදී තිබේ . බෞද්ධ ජනතාවට ආගමික හා ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිහිපත් කෙරෙන පොහොය දිනයක් ලෙස නිකිණි පොහොය සැලකේ.
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු අජාසත්ත රජුගේ අනුග්‍රහය හා දායකත්වයෙන් රජගහ නුවරදී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම නිකිණි පොහොය දිනය හා සම්බන්ධ ප්‍රධාන ඓතිහාසික සිදුවීමකි. එහිදී බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය හා විනය සුරක්ෂිත කර අනාගත පරපුර වෙත රැගෙන යාම සඳහා මහරහතන් වහන්සේලා එක්ව කටයුතු කළ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.
එමෙන්ම, ප්‍රථම ධර්ම සංගායනාවට පෙර ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීමද නිකිණි පොහොය හා සම්බන්ධ වැදගත් සිදුවීමකි. බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් අනතුරුව ශාසනයේ ධර්මය සුරක්ෂිත කර ගැනීම සඳහා ආනන්ද හිමියන් ඉටු කළ මෙහෙවරද බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් ගනී.
තවද, බුදුන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල චෛත්‍ය ඉදිකිරීම ආරම්භ කිරීමද නිකිණි පුර පසළොස්වක පොහොය දිනය හා සම්බන්ධ සිදුවීමක් ලෙස සැලකේ.
වස් කාලය ආරම්භ වීමත් නිකිණි පොහොය සමඟ සම්බන්ධ වේ. පෙරවස් සමාදන් වීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන් වීම නිකිණි පුර පසළොස්වක පොහොය දිනයේ සිදුවන අතර, වස් කාලය තුළ භික්ෂූන් වහන්සේලා විහාරස්ථානවල වැඩවසමින් ආගමික කටයුතු හා ධර්ම දේශනා සිදු කරති.
ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ මහනුවර වීථි සංචාරය කිරීමට නියමිතය.
ඒ අනුව, නිකිණි පොහොය දිනයේ ආගමික වැදගත්කම සමඟින් ශ්‍රී දළදා වහන්සේ උදෙසා පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමටද විශාල බැතිමතුන් හා ජනතාවක් මහනුවරට එක්වනු ඇත.
