“පිවිතුරු පුරවර” ජාතික කසළ කළමනාකරණ වැඩසටහන අනුරාධපුර සහ පොලොන්නරුවෙන් ඇරඹේ!
දිවයින පුරා කසළ කළමනාකරණයට ස්ථිරසාර විසඳුම් ලබාදීම සහ කසළ පරිසරයට බරක් නොව ආර්ථික වටිනාකමක් ඇති සම්පතක් බවට පත් කිරීමේ අරමුණින් “පිවිතුරු පුරවර” ජාතික කසළ කළමනාකරණ වැඩසටහන ක්‍රියාත්මක කරන බව පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනරත් මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික් මූලික සැලසුම් සාකච්ඡාවට පසුගියදා (30) එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී දිස්ත්‍රික් දෙකේ කසළ ගැටලු, රැස්කරගත් දත්ත, යෝජිත විසඳුම් සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී මතුවිය හැකි අභියෝග පිළිබඳව සමාලෝචනය කෙරිණි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ නිලධාරීන් සහ විශේෂඥ කමිටු සාමාජිකයන් එක්ව සිටියහ.
මෙම ජාතික වැඩසටහන පළාත් පාලන ආයතනවල සක්‍රීය දායකත්වයෙන් ඉදිරි වසර තුනක කාලය තුළ දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
