දොඩන්ගොඩ වෝගන් වතුයායේ පවුල් 16කට සුරක්ෂිත නව නිවාස

2017 වසරේ ඇති වූ ස්වාභාවික නායයෑම් ව්‍යසනයෙන් පසු වසර නවයකට ආසන්න කාලයක් අවතැන් කඳවුරුවල සහ තාවකාලික නවාතැන්වල ජීවත් වූ කළුතර දිස්ත්‍රික්කයේ දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වෝගන් වතුයායේ දීගල්ල කොටසේ රතු නිවේදන නිකුත් කළ අවදානම් කලාපයේ පවුල් 16ක් සඳහා අංගසම්පූර්ණ ස්ථීර නිවාස 16ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ මුල්ගල තැබීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පෙරවරුවේ පැවැත්විණි.

වසර ගණනාවක් ස්ථීර ආරක්ෂිත නිවසක් නොමැතිව ජීවත් වූ මෙම පවුල් සඳහා ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය නිවාස ලබාදීමේ වැඩසටහනක් පමණක් නොව සුරක්ෂිතභාවය, ගෞරවය, ස්ථාවරත්වය සහ අනාගතය පිළිබඳ නව බලාපොරොත්තුවක් උදාකර දෙන සමාජ සාධාරණත්වයේ වැදගත් පියවරක් ලෙස සැලකේ.

වැවිලි ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 57.6ක මුදලක් වෙන් කර තිබේ. නිවාස ඉදිකිරීමට අමතරව මාර්ග, විදුලිය, පානීය ජලය ඇතුළු සියලු මූලික යටිතල පහසුකම් සංවර්ධනය කර ප්‍රතිලාභීන්ට සුරක්ෂිත හා තිරසාර ජීවන පරිසරයක් උදාකර දීමට සැලසුම් කර ඇත.

ඉදිකිරීමට නියමිත සෑම නිවසක්ම නිදන කාමර දෙකකින්, විසිත්ත කාමරයකින්, මුළුතැන්ගෙයකින්, නාන කාමරයකින් සහ වැසිකිළියකින් සමන්විත අංගසම්පූර්ණ නිවසක් වන අතර මෙම වසරේ දෙසැම්බර් මාසය වනවිට ඉදිකිරීම් අවසන් කර ප්‍රතිලාභී පවුල් වෙත භාරදීමට නියමිතය.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ජනතාව මුහුණ දෙන නිවාස ගැටලුවට තිරසාර විසඳුම් ලබාදීම වත්මන් රජයේ ප්‍රමුඛ සංවර්ධන අරමුණක් වන අතර ඒ සඳහා නිවාස අමාත්‍යාංශය ප්‍රමුඛව පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

පසුගිය වසර තුළ පමණක් කළුතර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් ලක්ෂ 10 බැගින් මූල්‍ය ආධාර ලබාදී නිවාස 136ක ඉදිකිරීම් සම්පූර්ණ කිරීමට හැකි වූ බවත් මෙම වසරේදී තවත් නව නිවාස 200කට අධික සංඛ්‍යාවක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම වතු ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවගේ නිවාස අවශ්‍යතාව සපුරාලීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් ආවරණය වන පරිදි නව නිවාස 175ක් ඉදිකිරීමේ වැඩසටහන් ද මේ වන විට ක්‍රියාත්මක වන බව හෙතෙම පැවසීය.

නිවසක් යනු හුදෙක් ගල්, වැලි, ගඩොල් සහ උළු එකතුවක් නොව පවුලක අනාගතය ගොඩනැගෙන පදනම බව අවධාරණය කළ අමාත්‍යවරයා, නිවසක් හිමිවීමත් සමඟ පවුලකට ස්ථාවරත්වය, සුරක්ෂිතභාවය සහ හෙට දවස පිළිබඳ විශ්වාසයක් ගොඩනැගෙන බව සඳහන් කළේය.

නිවාස ලබාදීමට අමතරව මෙම පවුල්වල ජීවනෝපාය ශක්තිමත් කිරීම සඳහා සහන ණය, මූල්‍ය ආධාර, ස්වයං රැකියා හා කුඩා ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් ඇතුළු පුළුල් සහාය විවිධ අමාත්‍යාංශ මඟින් ලබාදෙන බවත් නිවාස සංවර්ධන වැඩසටහන් සමස්ත සමාජ සවිබල ගැන්වීමේ ක්‍රියාවලිය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරන බවත් හෙතෙම පැවසීය.

නව රජය බලයට පත්ව වසර දෙකකටත් අඩු කාලයක් තුළ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා ප්‍රායෝගික සහන රැසක් ලබාදීමට හැකි වී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, රජයේ ප්‍රතිපත්තිය වන්නේ රාජ්‍ය ආදායම ශක්තිමත් කරමින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත්, ජනතාව මත අමතර බදු බරක් පටවන්නේ නොමැතිව ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමත් බව අවධාරණය කළේය.

එමෙන්ම ආර්ථික හා සංවර්ධන දර්ශක අනුව ශ්‍රී ලංකාව යහපත් ප්‍රගතියක් වාර්තා කරමින් සිටින අතර ජාත්‍යන්තර වශයෙන් ද වේගවත් ආර්ථික වර්ධනයක් අත්කර ගනිමින් සිටින රටක් ලෙස පිළිගැනීමට ලක්ව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

නිවාස ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී හෝ වෙනත් කිසිදු රාජ්‍ය සුබසාධන වැඩසටහනකදී දේශපාලන හිතවත්කම් හෝ පක්ෂපාතීත්වය කිසිදු ලෙසකින් සැලකිල්ලට නොගන්නා බව අවධාරණය කළ අමාත්‍යවරයා, වත්මන් රජය විනිවිදභාවය, සාධාරණත්වය සහ ජනතා අයිතිවාසිකම් මූලික කරගත් පාලන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවද වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් ආගමික නායකයන්, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධනුෂ්ක රංගනාත්  සහ සංජීව රණසිංහ, කළුතර මහ දිසාපති සුනන්ද හේරත්, දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් මදූෂ සංකල්ප, දොඩම්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති නිලූෂ කවිරත්න ද සිල්වා, උප සභාපති ජනක විතාන,යන මහත්වරුන් මෙන්ම  ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, වෝගන් වතුයායේ කළමනාකාරීත්වය, ප්‍රජා සංවර්ධන සභාවේ නියෝජිතයන්, නිවාස ප්‍රතිලාභීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

END/GONP/MMP/30072026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *