කන්කසන්තුරය, මන්නාරම, කල්පිටිය, හම්බන්තොට, පොතුවිල් මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවලට තහනමක්

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ  හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු සිදු කිරීම නැවත දැනුම්දෙන තුරු තහනම් කරන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව එහි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ප්‍රකාශ කළේය.

මේ වනවිටත් එම ප්‍රදේශවලින් ධීවර රැකියාව සඳහා පිටත්ව ගොස් සිටින අයට ආරක්ෂිතව ගොඩබිම වෙත පැමිණෙන ලෙසට ඔහු ඉල්ලා සිටියේය.

කෙසේවෙතත් ප්‍රදේශවල ධීවර කටයුතු තහනම් කර නොමැති වූවත් මුහුදේ කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසට සුසන්ත කහවත්ත මහතා පැවසීය.

හදිසියේ ධීවර කටයුතු තහනම් කිරීම හේතුවෙන් එම ප්‍රජාවට ආර්ථික අපහසුතා ඇතිවූව ද ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බව ඒ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව මෙම තහනම නැවත දැනුම්දෙන තුරු බලාත්මක වන බවත් ඉදිරියේදී තමන් සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන නියෝග සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

මේ අතර තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළේය.

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වන හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම නිවේදනය වලංගු වනු ඇත.

මෙම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60-70දක්වා වැඩි වන අතර, මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *