මාතර ඩිෆෙන්ඩර් අනතුරින් මියගිය ගණන 2ක් දක්වා ඉහළට : 5කට තුවාලයි
මාතර, වැල්ලමඩම ප්‍රදේශයේදී ඊයේ (19) සවස ඩිෆෙන්ඩර් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරින් මියගිට ගණන දෙදෙනෙක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, තවත් 05 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි මාතර පොලිසිය සඳහන් කරන්නේ.
මාතර දෙස සිට තංගල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ඩිෆෙන්ඩර් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් එනම් තංගල්ල දෙස සිට මාතර දෙසට ධාවනය වූ සිමෙන්ති ප්‍රවාහන ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඩිෆෙන්ඩර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ බවට සැක කෙරෙන මාතර, වැවහමන්දුව පදිංචිව සිටි වෙදමුල්ල කංකානම්ගේ දිනේෂ් උදයංග (37) සහ මාතර, හිත්තැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි එස්. එම්. වී. සුභාෂ් (36) යන දෙදෙනායි.
මෙම අනතුරින් ඩිෆෙන්ඩර් රථයේ ගමන් කළ තවත් සිව්දෙනෙකු (04) සහ සිමෙන්ති පැටවූ ලොරි රථයේ රියදුරු සහ සහායකයා තුවාල ලබා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
එමෙන්ම, තුවාල ලැබූවන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
එමෙන්ම, අනතුරට පත් ඩිෆෙන්ඩර් රථය කුලී පදනම මත ලබාගත් එකක් බවට පොලිසිය වෙත තොරතුරු ලැබී ඇති අතර, අනතුර හේතුවෙන් එම රථයට දැඩි අලාභහානි සිදුව තිබෙනවා.
