පාස්කු ඉරිදා ඛේධවාචකයේ පස්වන සැමරුමට සූදානම්


2019 වසරේ අප්‍රේල් 21වන දින පාස්කු ඉරිදා දවසේ දී මරාගෙන මැරුනු බෝම්බකරුවන් විසින් කිතුනු දේවස්ථාන 03ක් , හෝටල් 02ක් සහ නවාතැන්පොළක් තුළ දී සිදුකළ ම්ලේච්ඡ මිනිස් ඝාතනයට වසර 05ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවෙි කතෝලික සභාව විසින් අද පස්වරුවෙි සිට හෙට දිනය පුරා විවිධ ආගමීක සැමරුම් සංවිධානයකර ඇති අතර දේවස්ථාන තුනේදී ජීවිත පූජාකළ සැදැහැවතුන් ප්‍රාණපරිත්‍යාගිවරුන් ලෙසට නම්කිරීමට සුදානම් වෙයි. 

හෙට, අප්‍රේල් 21 දින, පස්වන වසර සමරන පාස්කු ඛේදවාචකයේ දී, කොළඹ අගරදගුරු පදවියේ කොච්චිකඩේ සහ කටුවාපිටියේ කතෝලික දේවස්ථාන දෙකක්, නැඟෙනහිර පළාතේ මඩකලපුවේ සියොන් දේවස්ථානය සහ කොළඹ ඉහළ පෙළේ හෝටල් තුනක් සහ එක් නවාතැන්පොලක් ඉලක්ක විය.

සමාජ හා ආගමික මධ්‍යස්ථානයේ – CSR, පර්යේෂණ කණ්ඩායම විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳව අලුතින් දියත් කරන ලද (2024 අප්‍රේල් 19) වාර්තාවට අනුව විදේශිකයන් 40 ක් සහ ළමුන් 45 ක් පමණ ඇතුළු 315 ක් පමණ මිය ගොස් ඇති බව වාර්තා කරයි. මෙය, ශ්‍රී ලංකාවේ සිදු වූ විශාලතම පශ්චාත් සිවිල් යුද්ධ සමූලඝාතනය ද වේ. 
Sinhala- https://easterattack.info/…/5-Years-Since-the-Easter…
කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් අප්‍රේල් මස 17 වෙනිදා අගරදගුරු නිවසේදී පවත්වන්නට යෙදුණු මාධ්‍ය සාකච්ඡාවෙිදි අදහස් දක්වමින්, 2019 පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ රජයේ පරීක්ෂණ කෙරෙහි කිසිඳු විශ්වාසයක් නැති බවත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් යුක්තිය ඉටුවීම සඳහා දේව මැදිහත්කම තුළ විශ්වාසය තබා, ආධ්‍යාත්මීක පසුබිම තුළ හඩනැගීමට අපේක්‍ෂා කරන බව ප්‍රකාශ කළේය.

ඒ අනුව, අද ප.ව.4.00ට (අප්‍රේල් 20) දිව්‍ය පූජාවෙන් අනතුරුව කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා යාඥා පෙරහැරක් සංවිධානය කර ඇත. මෙම පෙරහැර රාත්‍රිය පුරාවට කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් කර අප්‍රේල් 21  ඉරිදා උදෑසන කටුවාපිටිය දේවස්ථානය වෙත ළඟා වීමට නියමිතය.
 
හෙට පෙරවරුවේ කොච්චිකඩේ සිද්ධස්ථානයේ පැවැත්වෙන මෙම සැමරුම් වැඩසටහනදී කාදිනල් රංජිත් හිමිපාණන් සමඟ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත, අපොස්තලීක තානාපති ‍ න‍ොන්සියෝ සහ බෞද්ධ භික්ෂූන් වහන්සේ ඇතුළු ආගමික නායකයින් අදහස් දැක්වීමට නියමිතය.
එමෙන්ම හෙට ඉරිදා සවස මීගමුවේදී සහ කටුවාපිටියේදී තවත් සමරු වැඩසටහන් දෙකක් සංවිධානය කර ඇත.
කතෝලික පූජක, පැවිදි  සහභාගීත්වයෙන් සහ ගිහි ජනතාවගේ සහභාගීත්වයෙන් යුතුව ඉරිදා පස්වරුවේ දී මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා ජීවිතක්‍ෂයට පත් පුද්ගලයින්ගේ ජායාරූප රැගත් තවත් පෙරහැරක් සංවිධානය කර ඇත. එම පා ගමන සඳහා සියලුම රදගුරුවරු ද සහභාගි වන බව කාදිනල් හිමි ප්‍රකාශ කළේය.
 
එම පාගමනෙන් අනතුරුව කටුවාපිටිය  දේවස්ථානයේ පවත්වනු ලබන කෙටි යාඥා මෙහෙයේ දී “පාස්කු ඉරිදා වින්දිතයන්” “ප්‍රාණ පරිත්‍යාගිකයින්” ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ලබයි. 
 
කටුවාපිටිය දේවස්ථානයේ, කොච්චිකඩේ දේවස්ථානයේ සහ සියොන් දේවස්ථානයේ සිදුවූ පිපිරීම්වලින් මියගිය සියලු දෙනාගේ නම් ඉරිදා පැවැත්වෙන ම‍ෙම අනුස්මරණ වැඩසටහන‍ේදී අපොස්තලික නන්සියෝ වෙත භාරදීමට නියමිත බව කාදිනල් හිමිපාණන් පැවසීය. 
 
“කතෝලික සම්ප්‍රදායට අනුව, වින්දිතයින් මුලින් ‘ඇදහිල්ලේ වීරයන්’ ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබේ, එය යමෙකු ප්‍රාණ පරිත්‍යාගශීලියෙකු ලෙස ප්‍රකාශ කිරීමේ පළමු පියවර වේ. මෙම වින්දිතයන් ඔවුන්ගේ ඇදහිල්ල නිසා එම ඉරණම්කාරී දිනයේ පල්ලියට ගිය බැවින් ප්‍රාණ පරිත්‍යාගිකයින් ලෙස හැඳින්විය හැකිය. ” කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් පැවසීය. 
 
එමෙන්ම “මහනුවර ක්‍රිස්තියානි සභා සංගමය” විසින් සංවිධානය කරන “යුක්තිය නැති පාස්කු ප්‍රහාරයට වසර 05ක්” මැයෙන් විරෝධතා සහ යාඥා මෙහෙයක් හෙට, අප්‍රේල් 21 මහනුවරදී පැවැත්වේ.

පස්වරු 03.30 ට මහනුවර යහපත් එ‍ඩ‍ෙිරාග‍ේ කන්‍යාරාම පාසලෙන් ආරම්භ වන පෙරහැර, පා ගමනින් ටොරින්ටන් දක්වා ගමන් කිරීමට නියමිතය. ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය (ටොරින්ටන්) ඉදිරිපිට විරෝධතාවක් සහ යාඥා මෙහෙයක් පැවැත්ව‍ෙන බවත් ඊට සහභාගිවන අය විර‍ෝධතා පුවරුවක්  සහ ඉටිපන්දමක් රැගෙන එන ලෙසත් සංවිධායකයෝ ඉල්ලා සිටිති.
 
මේ අතර පාස්කු වින්දිතයින් වෙනුවෙන් යුක්තිය සෙවීම සඳහා විවිධ සංවිධාන 32ක් එකතුව සැදුම්ලත්, “පාස්කු යුක්ති සටනේ ජනතා සාමූහීකය” විසින් සංවිධානය කරනු ලබන උද්ඝෝෂනයක් සහ බලපෑම් ක්‍රියාවන් කිහිපයක් ම හෙට දහවල් 2.00 සිට කටුවාපිටිය දේවස්ථානයට පිවිසෙන මීගමුව-ක‍ොළඹ ප්‍රධාන මාර්ගය‍ේ  බාල්දි හන්දිය ස්ථානයේදී ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම ක්‍රියාකාරකම් අතර,  මියගිය වින්දිතයින් වෙත පිං පැමිණවීම, යුක්තිය ඉල්ලා වීදී නාට්‍යයක් රග දැක්වීම, යුක්තිය ඉල්ලා රජයට, IMF, UN  එකට බලකරන මෙන් ඉල්ලා මහජන පෙත්සමක් අත්සන් කිරීම, පෝස්ටර් සටන් පාඨ ප්‍රදර්ශනය කර පමාවන යුක්තියට විරෝධතාව දැක්වීම යනාදිය සිදුකරනු ලැබීමට නියමිත බව ම‍ෝජ‍ෝ පුවත් සේවය වෙත සංවිධායකයෝ පැවසීය. 
– ම‍ෙලනි මාන‍ෙල් ප‍ෙර‍ේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *