මෙවර වන්දනා සමයේදී ශ්‍රීපාද පුද බිමට වන්දනාකරුවන් දිරා නොයන ඝණ අපද්‍රව්‍ය ටොන් 08 ක් බැහැර කරලා – චන්දන ජයවීර – හැටන්
මෙවර ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වී මාස 03 කට ආසන්න කාලය තුල වන්දනාකරුවන් විසින් දිරා නොයන ඝණ අපද්‍රව්‍ය ටොන් 08 කට ආසන්න ප්‍රමාණයක් නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ, ශ්‍රීපාද රක්ෂිතයට හා පරිසරයට මුදා හැර ඇති බව මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ වැඩ බලන ලේකම් සිවරාම් රාජවීරන් මහතා පැවසීය.
ඉකුත් සති කීපය තුල ශ්‍රීපාදස්ථානය වෙත නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් ලක්ෂ 05 කට ආසන්න වන්දනාකරුවන් පිරිසක් පැමිණීමත් සමග නල්ලතන්නිය නඟරයේ හා නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගය දෙපස දිරා නොයන ඝණ අපද්‍රව්‍ය ටොන් ගණනක් ශ්‍රීපාද රක්ෂිතයට හා පරිසරයට බැහැර කර තිබෙන අයුරු දක්නට ලැබුණි.
නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ දිරා නොයන ඝණ අපද්‍රව්‍ය හා කැළි කසල ඉවත් කිරීම සිදු කරනු ලබන්නේ මස්කෙළිය ප්‍රාදේශිය සභාව මගිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ වැඩ බලන ලේකම් සිවරාම් රාජවීරන් මහතා මෙසේද පැවසීය.
“ශ්‍රීපාදස්ථානය හා එහි ස්වභාවික රක්ෂිතය ලෝක උරුමයක්. ශ්‍රීපාද පුදබිම පිහිටි තිබෙන්නේ අතිශය වටිනා පරිසර පද්ධතියක. කැළි කසල හා දිරා නොයන ඝණ අපද්‍රව්‍ය පුදබිම වෙත රැගෙන නොඑන ලෙසත්, රැගෙන එන දිරා නොයන ඝණ අපද්‍රව්‍ය ක්‍රමවත්ව, පරිසර හිතකාමී ලෙස බැහැර කරන ලෙස අපි නිරන්තරයෙන් වන්දනාකරුවන් දැණුම්වත් කරනවා. මාධ්‍ය මගින් අපිට ඒ සඳහා විශාල අනුග්‍රහයක් ලබා දෙනවා. නමුත් බොහෝ වන්දනාකරුවන් පැමිණ ඒ උපදෙස් පිළි නොපදිමින් මෙම වටිනා පුද බිම හා පරිසර පද්ධතිය කිළිටි කර නැවත ගම්බිමි බලා යනවා. ජාතික සම්පත් විනාශ කිරීමට ඒ අය අනියම් ලෙස දායක වෙනවා. එය කණගාටුවට කරුණක්.”
“මස්කෙළිය ප්‍රාදේශිය සභාව ශ්‍රීපාද පුද බිමේ කැලි කසල හා දිරා නොයන ඝණ අපද්‍රව්‍ය වන්දනා සමයේදී ඉවත් කිරීම සඳහා මිලියන ගණනක් වැය කරනවා. එය ප්‍රාදේශිය සභාවට දරා ගන්න බෑ.”
“මේ වටිනා පුදබිම හා රක්ෂිතය මතු පරපුරට ඉතිරිකර දීමට දායකත්වය ලබාදී දිරා නොයන ඝණ අපද්‍රව්‍ය, ලබා දී ඇති උපදෙස් අනුව බැහැර කරන ලෙස අපි අපි වන්දනාකරුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.”