පල්ලකැලේදී සැමරූ නිදහස – නිමල් කොළඹිස්ස – මහනුවර

දේශපාලන හා ආගම් භේදයෙන් තොරව නිදහස් දින සැමරීම සඳහා සියලු ජාතීන් ඒකරාශී විය යුතු යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා පවසයි.

රටක් සංවර්ධන කිරීමට නම් ජාතික සමඟිය අත්‍යවශ්‍ය වී ඇතැයි ද ආණ්ඩුකාරවරයා කීවේය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව පල්ලකැලේ පිහිටි ශ්‍රී ලංකා රයිෆල් බලකා පරිශයේ දී පැවැත්වූ පළාත් සැමරුම් උත්සවයට ඊයේ (04) ප්‍රධාන ආරාධිතයා වශයෙන්  සහභාගීවෙමිනි.

නාලන්දා බෞද්ධ පාසලේ  දරු දැරියන් විසින් ආණ්ඩුකාරවරයා පිළිගන්නා ලද අතර ජාතික ගීය ගායනා කොට නිදහස් දින සැමරුම් උත්සවය ආරම්භ විය.

එහිදී රුක් රෝපණය සඳහා පුමුඛ ස්ථානයක් හිමිවූ අතර රයිෆල් බලකා පරිශ්‍රයේ අක්කර 11ක් තුළ පොල් පැල 600ක් පළතුරු පැළ 2000ක් හා මහවැලි රක්ෂිතය තුළ කුඹුක් පැල 500ක් රෝපණය කිරීම මෙහිදී සිදුවිය.

පළාත් නිදහස් දින සැමරුම් උත්සවය හමුවේ අදහස් පළ කළ ඒ මහතා රජයේ වියදම් අවම කර ඇති අවස්ථාවක විකල්ප ආදායම් හා අමතර ප්‍රතිලාභ හිමිවන කටයුතු වෙනුවෙන් අවදානය යොමු කිරීම කාලෝචිත යැයි කීවේය. ඒ අතර  රුක් රෝපණය කරමින් වන ඝනත්වය ඉහළ නැංවීමට තීරණය කර තිබීම නිදහස් දිනයේ විශේෂ අංගයක් යැයි ද ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය.

රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම සඳහා මේ වන විට සුදුසු මුලාශ්‍ර පවතින බවත් ඒ අතර කෘෂිකර්මාන්තය ප්‍රධාන ස්ථානයක් හිමිවන බව ද ඒ මහතා කීවේය.

මෙම සැමරුම් උත්සවයේදී අදහස් දැක්වූ මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා, එකිනෙකා වෛරය ක්‍රෝධය පතුරවමින් සිටිනවාට වඩා සමාජ දියුණුවක් ලැබීමට නම් සමගි සම්පන්නව කටයුතු කිරීම ඉතා වැදගත් යැයි කීවේය. පුද්ගලයා අවබෝධයෙන් යුතුව නිවරැදි චින්තනය මෙහෙයවන්නේ නම් ඉන් සමාජය ඉමහත් සේවයක් ලැබෙන බව ද දිස්ත්‍රික් ලේකම්වරයා කීවේය.

ආර්ථීක වශයෙන් රටක් දියුණුවීමට නම් සියලු පාර්ශව ඒකාබද්ධ ප්‍රවේශයකින් යුතුව ක්‍රියාකළ යුතු බවත් නිවරැදි ඉල්ක්ක කරා යොමු විය යුතු බවත් දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පොල් වගා කිරීමේ මණ්ඩලය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා හදබිම අධිකාරිය, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන රැසකගේ සහභාගීත්වයෙන් රුක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක වූ අතර පැමිණි නිලධාරීන්, පාසල් දරු දැරියන් හා රයිෆල් බලකා සෙබළුන්ගේ දායකත්වයෙන් රුක් රෝපණය සිදුවිය.

ඉන්දිය සහකාර මහ කොමසාරිස් වෛද්‍ය අතීරා එස්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, 11 වන පාබල සේනාංකාධිපති මේජර් ජනරාල් රෝහිත අළුවිහාරේ, 111 වන පාබල බල සේනාංකාධිපති බ්‍රිගේඩියර් රෝහිත රත්නායක, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න යන මහත්වරු ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *