A නවය ගත් සිසුවාට භූමිතෙල් දමා ගිනි තියලා , සිසුවාට බරපතලයි – මහනුවර වාර්තාකරු

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය ඒ සමාර්ථ නවයක් සමඟින් සමත් වූ අම්පිටිය ප්‍රදේශයේ පදිංචි සිසුවෙකුගේ ශරීරයට කිසියම් පුද්ගලයෙකු විසින් භූමිතෙල් දමා ගිනි තැබීම හේතුවෙන් බරපතල පිළිස්සුම් තුවාල ලත් සිසුවා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
මහනුවර අම්පිටිය පල්ලේගම පදිංචි සිසුවා ප්‍රතිපල නිකුත් වීමෙන් පසු තමන් ලද විශිෂ්ට ප්‍රතිපලය සිය මිත්තණියට දැනුම් දීම සඳහා 26 දා රාත්‍රියේ ගොස් පියා සමඟ ආපසු එමින් සිටිය දී අම්පිටිය මී කණුව ප්‍රදේශයේ දී කිසියම් පුද්ගලයෙකු ඉදිරියට පැමිණ ශරීරයට භූමිතෙල් ඉස ගිනි තබා ඇත.
මෙම ගිනි තැබීම සිදුකළ පුද්ගලයා හඳුනා ගැනීමට නොහැකි වූ බව සිසුවාගේ පියා පොලීසියට පවසා තිබේ.
සිසුවාගේ ගෙළ ප්‍රදේශයේ සිට පහළට සම්පූර්ණයෙන්ම පිළිස්සී ඇති අතර  අද  (28) පෙරවරුවේ ඔහු සැත්කමකට ලක්කර ඇත.
අම්පිටිය ප්‍රදේශය බිය ගන්වමින් ක්‍රියාත්මක වන මැර කල්ලියක සාමාජිකයෙකු මෙම ගිනි තැබීම සිදුකර තිබෙන බවත් සිසුවාගේ පවුලේ උදවිය ඔවුන්ට ඇති බිය නිසා සිද්ධිය වසන් කරන බවත් ප්‍රදේශවාසීහූ පවසති.
පිළිස්සුම් තුවාල ලත් සිසුවා අම්පිටිය ශාන්ත බෙනඩික් විදුහලේ අධ්‍යාපනය ලබමින් සිටින අතර ඔහුගේ තත්ත්වය බරපතල බව දැන ගන්නට තිබේ.
අම්පිටිය ප්‍රදේශය භීතියට පත් කරමින් ක්‍රියාත්මක මැර කල්ලි සාමාජිකයින් පසුගිය කාලය පුරා මෙවැනි අමානුෂික ක්‍රියා සිදුකළ නමුත් පොලීසිය ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග නොගන්නා බව ප්‍රදේශවාසීහූ පවසති.
හෙරෝයින්,ගංජා ඇතුළු විවිධ මත්ද්‍රව්‍යය ජාවාරම්කරුවන් මෙන්ම භාවිත කරන්නන් කලක පටන් අම්පිටිය හා ඒ ආශ්‍රිත ජනතාව භීතියට පත් කරමින් එළිපිට කප්පම් ගැනීම් සිදු කරන නමුත් ජීවිතාරක්ෂාව වෙනුවෙන් නිහඬව සිටීමට සිදුව ඇතැයි පවසන ප්‍රදේශවාසීන් පොලීසියට තොරතුරු ලබාදුන් විට ඇතැම් නිලධාරීන් අපරාධකරුවන්ට තොරතුරු ලබාදුන් පුද්ගලයින්ගේ අන්‍යන්‍යතාව හෙළි කිරීම නිසා කිසිවෙකුත් මෙම මැර කල්ලි වලට එරෙහිව කටයුතු කරන්නට නොයන බවත් පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණ පවත්වයි. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබෙන බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *