අතුරුදන් කිරීම් මහ පොළොවෙන් අතුරුදන් කරමු – ෂසිනි ෂෙහාරා
මට වන්දි නොවෙයි මගේ නැති වෙච්ච දරුවයි ඕන. දරුවට මොකද වුණේ කියලා ඇත්ත දැන ගන්න මට අයිතියක් තිබෙනවා.ඒ අයිතිය වෙනුවෙන් හඬ නැගීම වැරදක්ද ?. අවුරුදු 30 ක් තිස්සේ මම දරුවා එනකල් බලාගෙන ඉන්නවා. අඬලා අඬලා දැන් මගේ කඳුළුත් නැති වෙලා..අතුරුදන්ව සිටින තම දරුවා එනතුරු බලා සිටින මේ කතාව උතුරේ මවකගේය.මේ කතාව තුළින් ඇය සිංහලද දෙමළද මුස්ලිම්ද කියා ඔබට සිතා ගත ගැනීමට පුළුවන්ද?.එය කිසිසේත් කළ නොහැක්කකි.හැඟීම් වලට ජාති ආගම් බේදයක් නොමැත. ජාතිය,ආගම මතු වන්නේ භාෂාව,ඇඳුම,සංස්කෘතිය වැනි භාහිරින් දැකිය හැකි කරුණු මත විනා ශරීරය ගොඩ නැගී තිබෙන ලේ,මස්,ඇට,නහර වලින් නොවන්නේය.අතුරුදන්ව සිටින තම දරුවා හෝ සැමියා වෙනුවෙන් මවක හඬන කඳුළු වල තැවරී ඇති දුක වේදනාව එක් ජාතියකට හෝ ආගමකට පමණක් සීමාවී නොමැත.දශක ගණනාවක් පුරා පැවැති යුද්ධයත් 88-89 කාල පරිච්ඡේදය තුළ ක්‍රියාත්මකවූ භීෂණයත් හේතුවෙන් මෙරට දහස් ගණනක් මව් වරුන්ට දරුවන් අහිමි වූහ. සැමියන් අතුරුදන්වූ මව්වරු දහස් ගණනක් තාමත් ජීවත් වන්නේ වැන්දඹුවන් ලෙසිනි. එය උතුරු දකුණු බේදයකින් තොරව මව්වරු හා බිරින්දෑවරු අත් විඳිමින් සිටින්නාවූ ශෝචනීය අත්දැකීමකි.
ශ්‍රී ලංකාවේ අතුරුදන් කිරීම් 65000 ක්.
වර්ෂ 1988 සිට වසර 2022 දක්වා ගෙවුණු වසර 34 වසර තුළ පුද්ගල අතුරුදන් වීම් 65000 ක් පමණ මේ ලක් දෙරණ මත සිදුව තිබෙන බවට සංහිඳියා කාර්යාලය පවසයි. යුද සමයේ 16000 ක පමණ පිරිසක් අතුරුදන්ව තිබෙන බව අයි.සී.ආර්.සී සංවිධානය පෙන්වා දෙයි. ඔවුන් ගේ සංඛ්‍යා ලේඛණ වලට අනුව ක්‍රියාන්විතයේදී අතුරුදන්ව ඇති ගණන 5100 කි. පරණගම කොමිසම මගින් අනාවරණය කරනු ලැබ ඇත්තේ 21000-23000 ත් අතර පිරිසක් අතුරුදන්ව ඇති බවයි. දකුණේ 30000 ක පමණ පිරිසක් අතුරුදන්ව තිබෙන බවට තොරතුරු අනාවරණය වුවත් මෙම සංඛ්‍යා ලේඛණ කොමිසමෙන් කොමිසමට වෙනස් වන බවක් පැහැදිලිව පෙනෙන්නට ඇත.කෙසේ වුවත් දකුණු ආසියාවේ වැඩිම අතුරුදන් සිදුව තිබෙන රට ශ්‍රීලංකාව බව අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ සභාපති ජනාධිපතිව සිටි නීතීඥ සාලිය පිරීස් මහතා වරක් ප්‍රකාශ කළේය. අතුරුදන් වීම් සම්බන්ධ වාර්තා වලට අනුව ලොව වැඩිම අතුරුදන් වූවන් වාර්තා වන්නේ සිරියාවෙනි. එම ලැයිස්තුවේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙන බව මහනුවර මානව හිමිකම් කාර්යාලයේ නන්දන මනතුංග පියතුමන් පවසයි.
අතුරුදන් වූවන් කියන නම වැරදියි….
එල්.ටී.ටී.ඊ සංවිධානෙට පවුලකින් එක දරුවෙක් බලහත්කාරයෙන් බඳවා ගත්තා.මගේ පුතා 2008 අවුරුද්දේ ඒ අය අරන් ගියේ ඉස්කෝලේ ඉගෙන ගන්න කොටයි. පුතා මුල්ලිවයිකාවලදී කට්ටිය දැකලා තියෙනවා. අද වෙනතුරු පුතා ගැන තොරතුරක් නැහැ. අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලය කියන නමට අපි විරුද්ධයි.අපි කියන්නේ මේකට අතුරුදන් කරවූවන්ගේ කාර්යාලය කියන නම දාන්න කියලයි. අනිත් කාරනය මේකට අතුරුදන් වූවන්ගේ පවුල් වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයින් කිහිප දෙනෙක් පත් කරන්න ඕන…උතුරු නැගෙනහිර අතුරුදන් කරවූ පුද්ගලයින් පිළිබඳ සංගමයේ සභාපති යෝගරාජා කනකරංජනී (57) පවසයි.
අවුරුදු 33 ක් තිස්සේ පුතා එනතුරු බලා සිටින මවක්…
පේරාදෙණිය ඩබ්ලිව්. එච් රංසුහාමි මාතාව තම පුතුගේ අතුරුදන් වීම දරාගත නොහැකිව වසර 33 ක් තිස්සේ ජීවත් වන්නේ හැඬූ කඳුළිනි.තවමත් ඇය සිතා සිටින්නේ පුතු කොහේ සිට හෝ තමන් සොයාගෙන එනු ඇති බවයි….පේරාදෙණිය පොලීසියෙන් 1989 නොවැම්බර් 11 වැනිදා හවස 200 ට විතර පුතාව අරන් ගහින් තියෙනවා. එදා ඉරිදා දවසක්.එතකොට එයාට අවුරුදු 23 යි.අද පුතා හිටියා නම් එයාට අවුරුදු 55 ක්. එදා ඉඳන් තාමත් හොයනවා. පොලීසියට ගියාම කිව්වේ පුතා එයි බලාගෙන ඉන්න කියලා. ඒ කාලේ පාරේ යනකොට මගේ පුතා වගේ අය දැක්කම මම පස්සෙන් ගිහින් කතා කරනවා. ගෙදර ඇවිත් ඉන්න පුතාට මම බත් කවනවා අදත් හීනෙන් දකිනවා.
පොලීසිය පැමිණිල්ල බාර ගත්තේ නැහැ..
මධ්‍යම පළාතේ අතුරුදන් වූවන්ගේ සංගමයේ සභාපති ආර්.එම්.ජී පද්මා රංජනී මහත්මිය මෙසේ පැවසුවාය….1989 දෙසැබ්මර් 14 වැනිදා මගේ මහත්තයා අතුරුදන් වුණේ. ඒ වෙනකොට මට දරුවෝ තුන් දෙනෙක් හිටියා. බාල දියණියට මාස පහයි. ලොකු ළමයට අවුරුදු 3 1/2 යි. එදා රෑ 11 ට විතර තමයි ගෙදර දොරට කට්ටියක් ඇවිත් තට්ටු කරලා මහත්තයාව අරන් ගියේ. එදා රෑ එයා කෑම කන්න ලෑස්ති වුණා විතරයි. මම කිව්වා බත් එක කනකල් ඉන්න කියලා. ඒත් ඇහුවේ නැහැ. මහත්තයා නැති වුණාට පස්සේ දරුවෝ තුන් දෙනා එක්ක මම අසරණ වුණා. පොලීසියට ගියාම පැමිණිල්ල ලියා ගත්තේ නැහැ. මහනුවර සිල්වෙස්තර විදුහලේ රැඳවුම් කඳවුරක් තියෙනවා කියලා ලැබුණ ආරංචියට මම එහේ ගිහින් බැලුවත් මහත්තයා හිටියේ නැහැ. දරුවෝ තුන්දෙනා තාත්තා එයිද කියලා කාලයක් තිස්සේ ඇහුවා. මම කිව්වා කවදාහරි එයි පුතේ කියලා. මහත්තයා අරන් ගිහින් දවස් තුනකට පස්සේ අපේ ගමේ ටයර් සෑයක මිනිස්සු වගයක් පුච්චලා හිටියා. ගමේ කට්ටිය කිව්වා මගේ මහත්තයාගේ සිරුරත් එතන දැවුනා කියලා. මම තාමත් ඒක විශ්වාස කරන්නේ නැහැ. මහත්තයාගේ උපන් දිනේට හැම අවුරුද්දෙම මම එයාව සිහි කරලා දානයක් දෙනවා. එයා නැති වුණා දා පටන් අපි ඇත්තටම කන්නේ කඳුළුයි බතුයි..
අතුරුදන් වූවන්ට සාධාරණයක් ඉටුවී නැහැ..
කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විසාකේස චන්ද්‍රසේකරන් මහතා මේ සම්බන්ධව දැක්වූයේ මෙවන් අදහසකි. අතුරුදන් වූ පවුල් වල අයට හෝ අතුරුදන් වූ අයට කිසිම ආකාරයකින් යුක්තියක් ඉටුවෙලා නැහැ. අදටත් යම් ප්‍රමාණයකට අතුරුදන් වීම් වෙනවා. ඉදිරියටත් මේ වගේ දේවල් වෙන්න යම්කිසි ඉඩක් තියෙනවා. ඒ දවස්වල බරපතල විදිහට සිදුවුණු අතුරුදන් වීම් වලට හේතුපාදක වූ සිස්ටම් එක තාමත් වෙනස් වෙලා නැහැ. මේක යුක්තිය ඉෂ්ඨ වීම සම්බන්ධ ප්‍රශ්නයක්. අතුරුදන් වූ අයට යුක්තිය ඉටු වන්නේ නැත්නම් අනිත් අයට යුක්තිය ඉටුවෙයිද කියන කාරණය සම්බන්ධව අපි අවධානය යොමු කළ යුතුයි.අතුරුදන් කිරීම කියන්නේ අතිශයින් බරපතල ප්‍රශ්නයක්. ඒක ගැන කතා කරන්නේ නැත්නම් නීතියේ ආධිපත්‍යය සම්බන්ධව අපිට ප්‍රශ්නයක් මතු වෙනවා. ලංකාවේ අතුරුදන් වීම් සම්බන්ධව අවධානය යොමු කළොත් පේනවා මේක එක ජාතියකට හෝ ආගමකට වෙන් වුණු කාරණයක් නොවෙයි කියන එක. සිංහල,දෙමළ මුස්ලිම් සියලු දෙනා මේකේ ගොදුරු බවට පත්ව තිබෙනවා.
අතුරුදන් කිරීම් පසුපස දේශපාලන සෙවනැලි ….
නීතීඥ අචලා සෙනෙවිරත්න මහත්මිය මෙසේ කීවාය. අතුරුදන් වීම් සම්බන්ධව තමන්ගේ විරෝධතාව පෙන්වමින් ඊට එරෙහිව නැගී සිටීම සමාජ වගකීමක්. එය අද මේ මොහොතේ අපේ ප්‍රශ්නයක් නොවුණත් හෙට එය අපේ ප්‍රශ්නයක් විය හැකියි. මේ නිසා අපි පොදුවේ අතුරුදන් වීම් සම්බන්ධයෙන් අපේ හඬ අවධි කළ යුතුයි. මෑත කාලීනව දේශාපාලනඥයින්ගේ අකටයුතු කම් වලට එරෙහිව තරුණ තරණියන් විශාල පිරිසක් අරගල භූමියට එකතු වුණා. අපි දැක්කා ඒ පුද්ගලයින් මර්දනය කරන්න අනීතික ලෙස ප්‍රචන්ඩත්වය දියත කළා. දෙමව්පියන් අපිට ඇවිත් කිව්වා තමන්ගේ පුතා අරගල භූමියට ගියා නැවත පැමිණියේ නැහැ කියලා. මේ මොහොත වනවිටත් අතුරුදන් වීම් සිදුවන බව අපි තේරුම් ගත යුතුයි. අපි මේවාට එරෙහිව නැගී නොසිටියහොත් තවත් තවත් යුග ගණනාවක් මේ ගැන කතා කරන්න වෙයි. අතීතියේ පටන් මේ සිදුව තිබෙන අතුරුදන් වීම් පසුපස දේශපාලන හෙවනැලි තිබෙනවා. අතුරුදන් වීම අපරාධයක් ලෙස මෑත කාලීනව නීතිගත වුණත් වින්දිතයින්ට යුක්තිය ඉටුවුණු බවක් අපි දැක්කේ නැහැ.
අතුරුදන් කරවීම මනුෂ්‍ය වර්ගයාටම කරන අපරාධයක්.
මහනුවර මානව හිමිකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නන්දන මනතුංග පියතුමා මෙසේ පැවසුවේය. අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා පිහිටවූ කාර්යාලය පවා අද අක්‍රීය තත්ත්වයට පත්වෙලා. මෑතක සිට අතුරුදන් කරවීමේ ප්‍රවණතාව තරමක් ඉහළ ගිහින්. අරගලයට සම්බන්ධ වූ ගොඩක් අය පැය ගණනකට හෝ අතුරුදන් කරලා තියෙනවා. පනතක් ගෙනත් සම්මත කර ගත්තට වැඩක් නැහැ ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්. 2018 සිට මේ දක්වා එකම එක නඩුවක්වත් මේ පනත යටතේ පවරලා නැහැ. ලබන වසරේ අපි නැවත වතාවක් ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාව ගැන සාකච්ඡා කරනවා. මේ අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නය එහිදී අපට අහිතකර ලෙස බලපාන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ආර්ථික ගොඩ ගැනීමට ජත්‍යන්තරයෙන් ලබාදෙන සහයෝගය මේ මානව හිමිකම් ප්‍රශ්නය මත රඳා පවතිනවා. අපි මානව හිමිකම් ආරක්ෂා කරන්නේ නැහැ කියන කරණය මත ජත්‍යන්තර වශයෙන් අපිට ආර්ථික සහයක් ලැබෙන්නේ නැහැ. අතුරුදන් කරවීම මනුෂ්‍ය වර්ගයාටම කරන අපරාධයක්. අතුරුදන් වුවන්ගේ පවුල් වල අය වන්දි ඉල්ලන්නේ නැහැ. දරුවාට,සැමියාට මොකද වුණේ කියලා අහන්නේ. සමහර දෙමව්පියෝ ආරක්ෂක අංශ වලට දරුවන් බාරදීලා ආවට පස්සේ ඒ අයට වුණ දෙයක් දන්නේ නැහැ. මේ ගැන ඔවුන්ට දැන ගැනීමට අයිතියක් තිබෙනවා නේද?.
පුරවැසියන් ආරක්ෂා කරන්න තමයි පොලීසිය හා හමුදාව බැඳී සිටින්නේ. නමුත් අවාසනාවකට දේශපාලනඥයින් ආරක්ෂා කිරීම සඳහා පුරවැසියන්ට හානි කරන තත්ත්වයට මේ අයව මෙහෙයවන බවක් පේනවා.
අතුරුදන් කරවීමෙන් ශ්‍රී ලංකාව ලොව දෙවැනි තැනට
මානව හිමිකම් ක්‍රියාකාරී රුකී ප්‍රනාන්දු මහතා දැක්වූයේ මෙවන් අදහසකි. විශේෂයෙන්ම අසූව දශකය අගභාගයේ අතුරුදන් කිරීම කාරණය සිංහල ජනතාවට දැඩිව බලපෑවා. පසුව යුද්ධය දරුණු ලෙස ක්‍රියාත්මක වූ කාලය තුළ දෙමළ ප්‍රජාවට මේක විශාල ලෙස බලපෑවා. ආණ්ඩුව කියන විදිහට අතුරුදන් වීම් පිළිබඳව 65000 කට වඩා පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබෙනවා. ජත්‍යන්තර වශයෙන් ගත්තොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා වලට අනුව ලෝකයේ වැඩියෙන්ම අතුරුදන් වූවන් සිටින රටවල් ලැයිස්තුවේ දෙවන තැන හිමිවන්නේ ශ්‍රී ලංකාවට යි. අතුරුදන් වූවන්ගේ පවුල් වල අය තාමත් තාමත් අරගල කරනවා. දීර්ඝ කාලයක් තිස්සේ පැවැති මේ අරගලයට මෑතක ගෝල්ෆේස් හි සිදුවූ අරගලයට තරම් සමාජ අවධානයක් යොමුවුණේ නැහැ. අපරාධ කරපු අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනියි කියලා පිරිසක් හිතනවා. තවත් අය අතුරුදන් වූ පුද්ගලයා වෙනුවෙන් තමන්ට වන්දි පූර්ණයක් කරයි කියලා හිතනවා. අතුරුදන් වූ අය ජීවත් ව සිටිනවාද නැත්නම් සැබෑ ලෙසම මිය ගිහින්ද කියන කාරණය දැන ගැනීමේ වුවමනාවෙන් අරගල කරන පිරිසක් ඉන්නවා.සමාජ බලපෑම් ඔස්සේ 2018 දී නීතියක් සම්මත වුණා අතුරුදන් වීම් අපරාධයක් බවට පත් කරලා. නමුත් මේ නීතිය තාමත් ක්‍රියාත්මක වෙලා නැහැ. මෑත කාලයේදීත් පැහැර ගැනීම් සිද්ධ වුණා. කවුරුන් විසින් කොහාට ගෙනියනවාද කියන කාරණය කවුරුවත් දන්නේ නැහැ. මේ අය ඉන්නේ කොහෙද කියලා අපිට දැන ගන්න ලැබෙන්නේ පැහැරගෙන ගිහින් දින ගණනකට පසුව යි. මේක ඉතා භයානක ප්‍රවණතාවක්. අතුරුදන් වූවන්ගේ පවුල් වල අයට නීතිය පැත්තෙන් හෝ රාජ්‍ය යාන්ත්‍රණය මගින් සාධාරණය ඉටු වන්නේ නැත්නම් ඔවුන් ජත්‍යන්තර සහය පැතීම සඳහා යොමු වෙනවා. ඒක ස්වභාවික හා සාධාරණ දෙයක්. මේ අතුරුදන් වීම් නවත්වා ගැනීමට කටයුතු කරනවා නම් අපේ රටට එල්ල වන ජත්‍යන්තර අතපෙවීම් වලක්වා ගත හැකියි.
මෙරට නීතිය අනුව අතුරුදන් කිරීම අපරාධමය වරදකි. ගතවූ දශක තුනකට මදක් වැඩි කාලය තුළ අපේ රටේ 65000 ක පමණ පිරිසක් අතුරුදන්ව තිබේ. මේ මොහොත වන විටද අපේ රටේ අතුරුදන් වීම් සිදුවෙමින් පවතී. තමන්ගේ පවුලේ සමාජිකයෙකු අතුරුදන් වනතෙක් බොහෝ අය දකින්නේ මෙය අනුන්ගේ ප්‍රශ්නයක් ලෙසිනි. එහෙත් නොසිතූ ලෙස හෙට දිනයේ මෙය ඔබේ ප්‍රශ්නයක් වීමට පුළුවන. ඒ නිසා අතුරුදන් කරවීමට එරෙහිව අප සමාජයක් ලෙස පෙළ ගැසීම හෙට නොව අද සිටම ආරම්භ කළ යුතුය.