රජය සතු ඉඩම් තරුණ තරුණියනට අගමැති මහනුවරදී කියයි – නිමල් කොළඹිස්ස

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් වැඩි භූමි ප්‍රමාණයක් වගා කිරීම සඳහා භාවිතයෙන් තොරව පවතින රජය සතු ඉඩම් වගා කිරීමට තරුණ තරුණියන්ට හා ගොවි ව්‍යවසායකයන්ට ලබා දෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ඇතුලු ආයතන කිහිපයක් යටතේ ඉඩම් අක්කර ලක්ෂ ගණනක් කිසිදු භාවිතයකින් තොරව පවතින් බැවින් රජය  මෙම තීරණය ගෙන ඇති බවත් එය කඩිනම් කරන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම නිමිත්තෙන් මහනුවර දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් හා නිලධාරීන් දැනුවත් කිරීම, වැඩසටහන් මෙහෙයවීම හා මේ දක්වා කරන ලද වැඩසටහන් ප්‍රගතිය විමසාබැලීමේ සාකච්ඡාව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වෙයන් අද (29) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී අදහස් පළ කළ අග්‍රමාත්‍යවරයා, රජයේ ඉඩම් බදු පදනම මත ලබාදීමේ තීරණයක් ගෙන ඇති නමුත් එය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයක් පවතින බවත් ඉදිරියේදි කඩිනමින් එය ක්‍රියාත්මක කරන බව ද කීවේය.

ඒ අනුව කන්තලේ හා මොනරාගල දිස්ත්‍රික්කයන්හි අක්කර 20 000ක් ඒ අයුරින් දෙවසරක් සඳහා බදු පදනම මත ලබාදී ඇතැයි ද සඳහන් කළේය. අක්කර ලක්ෂ ගණනින් කිසිදු භාවිතයකින් තොරව පවතින නිසා ඉන් සාර්ථක ප්‍රයෝජන ලබා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇතැයි කී අගමැතිවරයා ඉඩම් යළි පවරා ගැනිම සම්බන්ධයෙන් නීති රීති පවතින බව ද සඳහන් කළේය.

ලෝක ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කිහිපයක් දැඩි පීඩාවට පත්ව ඇතැයි ද කිසිදු අයුරකින් මහජනතාව කුසගින්නේ නොතැබීමට සහ මන්ද පෝෂණයට ලක් නොවීමට වග බලා ගන්නා බව ද ඒ මහතා කීවේය.

අධිරාජ්‍යවාදී පාලනය නිසා කන්ද උඩරට පදිංචිකරුවන් දැඩි පීඩාවට පත්වූ බවත් උඩරට ගැමි පුනරුත්තාපන දෙපාර්තමේන්තුව, හදබිම අධිකාරිය වැනි ආයතන ක්‍රියාත්මක වූයේ ඔවුන්ට සහන ලබාදීමට යැයි අගමැතිවරයා කීහ. එවැනි ආයතන සක්‍රීය කොට මහජනයා නඟා සිටුවිය යුතු යැයි පෙන්වා දුන් ඒ මහතා කන්ද උඩරට හස්ත කර්මාන්ත හා ග්‍රාමීය කර්මාන්ත දියුණු කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් විය යුතු යැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා, මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ මහතා, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, රංජිත් බණ්ඩාර, යදාමිණී ගුණවර්ධන යන මහත්වරු ඇතුලු මහජන නියෝජිතයන් ද ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් පී.කේ.මායාදුන්න, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරු ඇතුලු නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්වූහ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *