මෙවර නත්තල කුසගින්නට ප්‍රතිචාර දක්වන නත්තලක් කරගන්න – කාදිනල් මැල්කමි රන්ජිත් හිමි – මෙලනි මානෙල් පෙරේරා

අද ලංකාවේ, සාගින්නට මුහුණ දී සිටින පවුල් අති විශාල සංඛ්‍යාවක් සිටින බව ප්‍රකාශ කළ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් හිමිපාණන්, විශේෂයෙන් කතෝලික ජනතාව අමතමින් ලග එන නත්තල සැරසිළි , රතිඤ්ඤා යනාදි බාහිර අලංකාර ගැන නොසිතා, රට පුරා බඩගින්නේ සිටින මිනිස්සු ගැන හිතන ඔවුන්ගේ කුසගින්න නිවන, “සැබෑ ගවලෙනේ” නත්තලක් ලෙස සමරන්නට කටයුතු කරන්නැයි ඉල්ලා සිටියේය.
සැබෑ ක්‍රිස්තු ශ්‍රාවකයෙක් යනු බොරු ආටෝප පසුපස හඹා ගොස් සන්තෝෂයක් ලබාගන්නා කෙනෙකු නොව” දුක වේදනාව අසාධාරණය අයුක්තිය රජකරන තැන්වල ඊට එරෙහිව ප්‍රතිචාර දක්වන පුද්ගලයෙකු” බව කාදිනල් හිමි පැවසීය.
“ලබන නත්තල දේවස්ථානවල සැරසිළි දලා, මුදල් නාස්ති නොකර, දුප්පත් අයව ගවලෙන ලගට ගෙනල්ලා ඒ අයට අවශ්‍ය ආහාර මලු දීලා , ළමයින්ට අවශ්‍ය පොත්පත් ලබාදීලා දුප්පත් අය සමග නත්තල ගතකරන්න උත්සාහා කරන්න. නත්තල්දාට වේලක් කන්න පුලුවන් වෙන විදියට දුප්පත් අය සමග බෙදාගන්න, එවිට තමයි අපි සැබෑ ක්‍රිස්තු විශ්වාශයෙහි ජීවත්වෙන්නේ. යනුවෙන් සඳහන් කරමින් කුසගින්නේ පෙළෙන ශ්‍රී ලාංකීක ජනතාව සමග මෙවර නත්තලේ ආදරය බෙදා ගැනීමට කාදිනල් හිමිපාණන් කතෝලික ජනතාවට ආරාධනා කළේය.
අගරදගුරු මැල්කම් කාදිනල් හිමිපාණන් මෙම අදහස් පලකළේ පසුගිය ඉරුදින (16.10.2022) පවත්වන්නට යෙදුණු බටපත්තල දේවස්ථානයේ ජුබිලි මංගල දිව්‍ය යාගයේ දේශනාව අතරතුරදීය.
දේවස්ථානයට ගොස් ඉටිපන්දම් පත්තු කර, පෙරහැරට සහභාගි වී ආශිර්වාද ලබාගෙන නිවෙස්කරා යෑම පමණක් කෙනෙකුගේ ආගම නොවන බව සඳහන් කළ කාදිනල් හිමි, ආගම යන්නෙන් අදහස් කරන්නේ “ප්‍රේමයේ හි ජීවත්වීමය” යැයි ද ප්‍රේමයේ ජිවත් විම යනුවෙන් අදහස් කරන්නේ “අනුන්ගේ දුක් කරදර වේදනාව අවබෝධ කරගැනීම සහ ඊට ප්‍රතිචාර දැක්වීම” යැයි පැහැදිළි කළේය.
