පුංචි සිත්තරා – ත්‍රිකුණාමලය ලක්මාල් කේ. බදුගේ

පැන්සල හා පින්සල මනාව හසුරවමින් අංකුර සිත්තරකු ලෙස මනා සංයමකින් යුතුව විවිධ වර්ණ යෙදු සිතුවම් රැසක් නිර්මාණය කරමින් ඒක පුද්ගල චිත්‍ර ප්‍රසංගයක් පැවැත්වීමට ත්‍රිකුණාමලය අභයපුර මහ විද්‍යාලයේ ඉගෙනුම ලබන 12 හැවිරිදි ඊ. ජේ. කේ. පී. අචල කල්හාර සිසුවා කටයුතු කලේය.

“පිපෙන කුසුම” ලෙස නම් කර තිබු මෙම සිතුවම් දැක්ම එම විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ දී ප්‍රදර්ශණය කෙරිණි. ත්‍රිකුණාමලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එස්. ශ්‍රීධරන් මහතාගේ සහ පලාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා සරණ්‍යා සුදර්ශන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අවට විදුහල් රැසක විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම ප්‍රදර්ශණය ආරම්භ කෙරිණි.

මේ වනවිට අභයපුර විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවා පසුගිය කොවිඩ් වසංගත සමයේ දී සිතුවම් කලාවට යොමුව ඇති අතර පසුව ඔහුගේ දක්ෂතා හඳුනාගත් පාසලේ ගුරුවරුන් පිරිසක් විසින් ඉදිරිමග පෙන්වීම් සිදුකර තිබේ.

ප්‍රදර්ශණය සඳහා ඔහු විසින් නිර්මාණය කර තිබු සිතුවම් ගණන 150 ඉක්මවා තිබුණි. පාසලේ සහ අවට පාසල් වල ගුරුවරුන්ගේ මෙන්ම විවිධ කලාකරුවන්ගේ මුහුණු පැන්සල යොදා ගනිමින් මනාලෙස සිතුවමට නගා තිබු අතර විවිධ තේමාවන් ඔස්සේ චිත්‍ර රැසක් නිර්මාණය කර තිබුණි. මේ සඳහා ඔහු විසින් පැන්සල්, වර්ණ පෑන්, දිය සායම් සහ පැස්ටල් යන මාධ්‍ය යොදා ගෙන තිබේ.

ප්‍රදර්ශණය නැරඹීමෙන් පසු ඉමහත් සතුටට පත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා අචල කල්හාර සිසුවා ඇගයීමට ලක් කරමින් පදක්කමක් ද පළඳවනු ලැබීය.

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *