විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තවත් සංශෝධන – මහනුවර වාර්තාකරු

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාවට ඉදිරිපත් කර තිබියදී කල්ගිය නිසා ඉදිරියේදී එයට තවත් සංශෝධන එකතු වීමේ හැකියාව ඇතැයි හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. තමන්ගේ කාලයේ ගෙනා 19 වැනි ව්‍යවස්ථාවේ පවතින යම් යම් අඩුපාඩු මඟ හරවාගෙන එය සම්මත කරගත යුතු යැයිද ඒ මහතා කීය.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ඊයේ (09) පැමිණි අවස්ථාවේ හිටපු ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
මේ අවස්ථාවේ සියලු දෙනා බේද අමතක කර රටක් ලෙස එකට එකතු වී ප්‍රශ්න වලට විසඳුම් සෙවිය යුතුව තිබෙන බවද සිරිසේන මහතා කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එකතු වී ඇමැතිකම් ලබාගත් බවත් තවත් එවැනි අය ඉන්නවාද යන්න තමන් නොදන්නා බවත් කී ඒ මහතා කෙසේ වුවද ආණ්ඩුව මහජන යහපත පිණිස ගන්නා ක්‍රියාමාර්ග වලට සහය ලබාදෙන බවද අවධාරණය කළේය.
ශ්‍රීලනිපය කළ ඉල්ලීමට අනුව සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවූයේ නම් ජත්‍යන්තර සහය විශාල ලෙස රටට ලබාගත හැකිව තිබූ බවත් ආණ්ඩුවේ පිරිසක් ඊට අකමැති වූ නිසා එය සිදු නොවුණු බවත් හිටපු ජනපතිවරයා ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි මහජනතා එක්ව නැගිටිමු කළුතරින් අරඹමු මැයෙන් පැවැත්වූ කළුතර ආසන බල මණ්ඩල රැස්වීම විහිළුවක් බවද ඒ මහතා පැවසුවේය. එය පොඩි ආර්ටිපිෂල් වැඩක් බවද ඒ මහතා කීය.