ඕස්ටේලියානු මහ කොමසාරිස්වරයා අස්ගිරි නායක හිමි බැහැ දකියි – නිමල් කොළඹිස්ස මහනුවර

අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට දීර්ඝ කාලීන සහයෝගය ලබා දෙන බව මෙරට ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පොල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා පවසයි.

දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වයක් පවතින බව කී මහ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකාව මුහුණදී සිටින අර්බුදකාරී තත්ත්වය පිළිබදව මනා අවබෝධයක් පවතින බව ද කීවේය.

ඒ මහතා මේ බව සඳහන් කරන ලද්දේ අස්ගිරි මහා විහාරයට පැමිණ එහිදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දුටු අවස්ථාවේදීය.

මහා නායක හිමියන් බැහැ දැකීමට ප්‍රථමයෙන් මහ කොමසාරිස්වරයා, ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ආශිර්වාද ලබා ගත්තේය.

ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ඕස්ට්‍රේලියාවේ පදිංචිවී ඇති බව සහ තවත් සැලකිය යුතු පිරිසක් එරට අධ්‍යාපනය ලබන බව කී මහ කොමසාරිස්වරයා, මෙරට උගත් තරුණ තරුණියන් සඳහා ඉදිරියේදී වැඩි රැකීරක්ෂා ප්‍රමාණයක් හිමිකර දීමට ඕස්ට්‍රේලියානු රජය අපේක්ෂා කරන බව ද කීවේය.

බදුලු මුතියංගණ රජමහ විහාරාධිකාරී පූජ්‍ය මුරුද්දෙණියේ ධම්මරතන හිමියන් සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ලේකම් ලාරා ස්වෙන්සන් මෙනවිය ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed