චීනයෙන් ලංකාවට මානූෂීය ආධාර

චීනය ශ්‍රී ලංකාවට අමතර ඩොලර් ලක්ෂ 4ක් වටිනා ආහාර සහ අනෙකුත් මානුෂීය ආධාර ලබාදී ඇති අතර, තවත් රට තුළ පවතින හදිසි අවශ්‍යතා ලැයිස්තුවක් ද ලබා දෙන ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලා ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් කරයි. 
 
අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Shenhong අතර පසුගිය බදාදා – 21දා,  අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවක් අවස්ථාවෙිදී මෙම මානුෂීය ආධාර ශ්‍රී ලංකාවට ලබාදී තිබුණි.
 
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා චීනය ලබාදුන් සහය පිළිබඳව තානාපතිවරයාට ස්තූතිය පළකළ අග්‍රාමාත්‍යවරයා, චීනයේ අඛණ්ඩ සහයෝගය ශ්‍රී ලංකාව ඉතා ඉහළින් අගය කරන බව ද ප්‍රකාශ කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල IMF සමඟ ශ්‍රී ලංකාව කරන ලද සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව ද චීන තානාපතිවරයා සිය සතුට පළ කළ බව සඳහන් කරන මාධ්‍ය නිවේදනය, චීනය ද  IMF  හි සාමාජිකයෙකු වන බැවින්ල  IMF අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අවශ්‍ය සහාය ලබා දෙන බවට තානාපතිවරයා සහතික වුයේ යැයි වැඩිදුරටත් සඳහන් කරයි.

මාධ්‍ය නිවේදනයට අනුව, දෙරට අතර ඓතිහාසික ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සඳහනක් කරමින් මෙම සාකච්ඡාව ආරම්භ කර ඇති අතර, පවතින ආර්ථික අර්බුදය හමුවේ චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම ද අවධාරණය කර ඇත. 

සෘජු පෞද්ගලික ආයෝජන, කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය, වාරිමාර්ග සහ ජල සම්පාදන ක්ෂේත්‍රවල ආර්ථික ප්‍රශ්නවලට දීර්ඝ කාලීන විසඳුම් ලබාදීම සඳහා සිදුකරන ආයෝජන ශ්‍රී ලංකාව විසින් පිළිගනු ලබන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළ බව, මාධ්‍ය නිවේදනය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *