සුන්දර වෙරළ තිරයක් ..ආරම්භය පුත්තලමෙන් – මිහිසර විජේසේකර

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි කරලීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමඟ ඒකාබද්ධව දිවයින වටා අපවිත්‍ර නොවූ සුන්දර වෙරළ තීරයක් දායාද කිරීමේ අරමුණින් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.
මේ යටතේ 17 වෙනි දිනට යෙදී ඇති ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය සහ සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතියට සමගාමීව වෙන්නප්පුව සින්දාත්ත්‍රිය වෙරළ තීරය පිරිසිදු කිරීමේ ආරම්භක අවස්ථාවට සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ වෙරළබඩ දිස්ත්‍රික්ක 14 ක් ආවරණය වන ලෙස හඳුනාගත් වෙරළ තීරයන් සහ කලපු ප්‍රදේශ 200 පමණ වෙරළ පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මම වැඩ භාර ගැනීමෙන් අනතුරුව සිදුකරන ප්‍රථම රාජකාරි කටයුත්ත මෙයයි. මා ඒ ගැන සතුටු වෙනවා. මොකද ජනාධිපතිතුමා අපේ අමාත්‍යංශට මේ වෙරළ සංරක්ෂණ කටයුතු පවරලා තියෙන්නේ. වෙනත් ප්‍රදේශවලට සාපේක්ෂව පුත්තලම දිස්ත්‍රික්කයේ විශාල ලෙස වෙරළ ඛාදනය වෙලා තියෙනවා. විශාල පරිසර හනියක් වෙලා තියෙනවා. නිවාස රාශියක් මුහුදට බිලිවෙලා තියෙනවා. ඒ සඳහා ස්ථිරසාර පිළිවෙලක් සකස් කිරීමට කටයුතු කිරීම තමා මගේ මූලික අරමුණ.
අපේ රට මේ වනවිට ආර්ථික වශයෙන් ඉතාමත් අමාරු තැනක තියෙන්නේ. මේ තත්ත්වය මඟහ හරවා ගැනීමට නම් ප්‍රධාන වශයෙන් අපට අවශ්‍ය කර තිබෙන්නේ විදේශ විනිමය. එ වගේම තමා විදේශීය විනිමය මෙරටට රැගෙන එන ප්‍රධානම දේ තමයි සංචාරක කර්මාන්තය. සංචාරකයන් විශාල වශයෙන් ශ්‍රී ලංකාවට ඇදී එන්නේ මේ දිවයින වටා තිබෙන සුන්දර ආකර්ශණීය වෙරළ තීරය නිසයි. හැබැයි මේ වෙරළ තීරයේ සමහර තැන් ඉතාමත් පිරිසිදුව තිබෙන ස්ථාන තිබෙනවා. නමුත් බොහෝ ස්ථාන අපිරිසිදු තත්ත්වයෙ තමයි තියෙන්නේ. බොහෝ දෙනෙක් වෙරළ තීරයට පැමිණ ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය මුදාහරිනවා. එය ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ඒ නිසා අපේ පරිසරය අනාරක්ෂිත තත්ත්වයක් ගත්තම වෙරළටත් ඒක බලපානවා. අපේ ප්‍රධාන ආයතනයක් තමයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙරළ ආරක්ෂා කර ගැනීමට විශාල දායකත්වයක් ලබා දෙනවා. පසුගිය කාලයේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුදා හැරපු අපද්‍රව්‍ය ඉවත් කරන්න පරිසර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විශාල මෙහෙයක් ඉටු කළා යැයි වැඩි දුරටත් අමාත්‍යවරයා සදහන් කළේය.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලය, පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ කාර්ය මණ්ඩලය ,ආරක්ෂක අංශ , ප්‍රාදේශීය රාජ්‍ය ආයතන නියෝජිතයින් රාජ්‍ය නොවන සංවිධාන ,සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයින්, ප්‍රදේශවාසීන් ගේ සහයෝගයෙන් වෙරළ පවිත්‍ර කිරීම සඳහා ලබා දෙන ලදි.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතා, පුත්තලම දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත් මහතා ඇතුළු නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.