නගර සභාවේ ඩීසල් විදිල්ල – මහනුවර වාර්තාකරු

මහනුවර මහ නගර සභාවේ විදුලි ජනක යන්ත්‍රය සඳහා යෙදීමට තිබූ ඩීසල් ලීටර් 20 ක් සහිත බූලියක් නගර සභාව තුළදීම වෑන් රථයකට පටවා සොරාගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
නාගරික මන්ත්‍රී ආන්නද විජේරත්න මහතා  (31) නගර සභාවේ මාසික රැස්වීමේදී මෙම සොරකම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කිරීමත් සමඟ වැඩබලන නගරාධිපති ලෙස සභාවේ කටයුතු කළ විපුල රණසිංහ මහතා ඒ අවස්ථාවේදීම නාගරික කොමසාරිස්වරයා කැඳවා ඒ පිළිබඳ විමසා සිටියේය.
විදුලි ජනන යන්ත්‍රය තැන්පත් කර ඇති ස්ථානයටම වෑන් රථයක් රැගෙන විත් මෙම ඩීසල් තොගය වෑන් රථයට පටවා රැගෙන ගොස් තිබෙන බව ආනන්ද විජේරත්න මහතා කීය.
මහනුවර නගර සභාවේ සේවකියින් තෙල් පෝලිම් වල පැය ගණන් සිට යතුරු පැදි වලට ලබා ගන්නා ඉන්ධන නගර සභාව තුළදීම සොරා ගැනීමේ සිදුවීම් ගණනාවක් වාර්තා වී තිබෙන බව මෙහිදී විපුල රණසිංහ මහතා පැවසුවේය.
නගර සභා භූමියේ ගාල්කර තිබෙන යතුරු පැදි වල බට කපා ඉන්ධන සොරා ගැනීම් සිදුකර තිබෙන බවත් මේවා පිළිබඳව වහා නිසි විමර්ශනයක් සිදුකළ යුතුව තිබෙන බවත් ඒ මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *