දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් 22,500කට නොමිලේ ඇස් කණ්ණාඩි!

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය මඟින් 2026 වර්ෂය තුළ අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 40ට වැඩි දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් 22,500 දෙනෙකුට නොමිලේ අක්ෂි පරීක්ෂාව සිදු කර ඇස් කණ්ණාඩි ලබාදීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම, වයස අවුරුදු 18ට අඩු දෘශ්‍යාබාධ සහිත දරුවන්ට ඇස් කණ්ණාඩි මිලදී ගැනීම සඳහා එක් අයෙකුට රුපියල් 50,000 බැගින් මූල්‍යාධාර ලබාදීමට ද කටයුතු යොදා ඇත.

ඇස් කණ්ණාඩි ඇතුළු ආබාධ සහිත පුද්ගලයන් සඳහා අවශ්‍ය ආධාරක උපකරණ ලබාදීම වෙනුවෙන් 2026 වර්ෂය සඳහා අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 21ක මුදලක් වෙන් කර තිබේ.

ඒ අනුව, කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල්වල දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් සංවිධානය කරන ලද අක්ෂි සායනයක් සහ නොමිලේ ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ඊය‍ේ (16) පෙරවරුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, දිවයිනේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අඩු ආදායම්ලාභී ජනතාවට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ ජාතික වැඩසටහනක් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන බවයි. දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන්ට කියවීමේ කටයුතු, එදිනෙදා ජීවන කටයුතු සහ රැකියාවල නිරත වීම වඩාත් පහසු කරමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

අතීතයේදී සීමිත පිරිසකට පමණක් ප්‍රතිලාභ ලබාගත හැකි වූ ජනාධිපති අරමුදලේ සේවාවන් වර්තමානයේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා විමධ්‍යගත කරමින්, සහාය අවශ්‍ය ජනතාවට වඩාත් පහසුවෙන් එම සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා ඇති බව ද අමාත්‍යවරයා පැවසීය. ඒ යටතේ විශ්වවිද්‍යාල සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ විශේෂ වැඩසටහනක් ද ආරම්භ කර ඇති බව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට කැලණිය ප්‍රාදේශීය සභාවේ සහ පෑලියගොඩ නගර සභාවේ ජනතා නියෝජිතයෝ, කැලණිය ප්‍රාදේශීය ලේකම් ගයනි රණසිංහ මහත්මිය, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයේ නිලධාරීහු, සමාජ සේවා නිලධාරීහු සහ ප්‍රතිලාභීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් යොමු කරන ලද ප්‍රශ්නවලට ද අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පිළිතුරු ලබාදුන්නේය.

END/GONP/MMP/17102026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *