පරිසර සංරක්ෂණය බිම් මට්ටමට ගෙන යාමට නව වැඩපිළිවෙළක්
තිරසර සංවර්ධනය සහ පරිසර සංරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති බිම් මට්ටමේදී ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ අරමුණින් පරිසර අමාත්‍යාංශය විසින් නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි පරිසර අමාත්‍යංශය සඳහන් කරයි.
දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25න් 21ක් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341න් 275ක් ආවරණය වන පරිදි අනුයුක්ත කර ඇති සංවර්ධන නිලධාරීන් මූලික කරගනිමින් ග්‍රාමීය මට්ටමේ පරිසර සංරක්ෂණ යාන්ත්‍රණය විධිමත් කිරීමේ විශේෂ වැඩසටහනක් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පරිසර අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන සහ පරිසරය හා සම්බන්ධ සියලු පාර්ශ්ව බිම් මට්ටමේදී සම්බන්ධීකරණය කරමින් ජනතාව මුහුණ දෙන පාරිසරික ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.
ඒ අනුව ප්‍රාදේශීය මට්ටමේ ජල පෝෂක ප්‍රදේශ, වනාන්තර, තෙත්බිම් සහ වෙරළාසන්න කලාප නිරීක්ෂණය කිරීම, තර්ජනයට ලක්ව ඇති පාරිසරික ස්ථාන හඳුනාගැනීම, අදාළ දත්ත එක්රැස් කර වාර්තා කිරීම මෙන්ම ග්‍රාමීය ප්‍රජාව පරිසර හිතකාමී ආර්ථික රටාවන් වෙත යොමු කිරීම ද සිදු කෙරේ.
පරිසර අධ්‍යාපනය සහ පරිසර සංරක්ෂණය පිළිබඳ ප්‍රවර්ධන කටයුතු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ද පියවර ගෙන ඇති අතර, වායු සම්පත් කළමනාකරණය, දේශගුණික විපර්යාස සහ පාරිසරික නීතිය යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි විශේෂ නේවාසික පුහුණු වැඩසටහන් කඩිනමින් ආරම්භ කිරීමට නියමිතය.
දේශීය මට්ටමේ ව්‍යාපෘති සහ ක්ෂේත්‍ර රාජකාරි බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත සෘජුව ලබාදීමට ද කටයුතු කෙරේ.
2025 ජූලි මාසයේ පැවති පළමු සාකච්ඡා වටයේදී හඳුනාගත් ක්ෂේත්‍ර නිලධාරීන්ගේ අවශ්‍යතා සපුරාලමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල 19ක් සඳහා ලැප්ටොප් පරිගණක ලබාදීම සහ සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය වන පරිදි නිලධාරීන් 290 දෙනෙකු සඳහා සන්නිවේදන සිම්පත් ලබාදීම ද මෙහිදී සිදු කෙරිණි.
එම සන්නිවේදන පහසුකම් මඟින් ප්‍රාදේශීය මට්ටමේ පාරිසරික කටයුතු සඳහා කඩිනම් සම්බන්ධීකරණයක් ඇති කිරීමට අපේක්ෂා කෙරේ.
අවශ්‍ය කාර්යාල උපකරණ සහ ප්‍රාදේශීය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම මෙන්ම නිලධාරීන් සඳහා නේවාසික හා විදේශීය පුහුණු අවස්ථා පුළුල් කිරීමට ද පියවර ගනු ලැබේ.
නව රජයේ ප්‍රතිපත්ති අනුව හුදෙකලා ප්‍රයත්නයන්ගෙන් ඔබ්බට ගොස් තිරසර ජෛවගෝලයක් සහ සදාහරිත ජීවන රටාවක් උදෙසා සියලු පාර්ශ්වයන් එකමුතුව ක්‍රියාත්මක වන ශක්තිමත් ආයතනික හා ප්‍රජා පදනමක් ගොඩනැගීම මෙහි අරමුණයි.
ඒ සඳහා අවශ්‍ය නවීන භෞතික යටිතල පහසුකම් සැපයීමත්, නිපුණතාවයෙන් පිරිපුන් මානව සම්පතක් සවිබල ගැන්වීමත් කඩිනමින් සිදු කෙරෙන අතර, එහි ප්‍රතිඵල බිම් මට්ටමේදී වඩාත් ඵලදායී හා විනිවිදභාවයකින් යුතුව තහවුරු කිරීම සඳහා ක්‍රමවත් අධීක්ෂණ යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක කර තිබේ.
මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල ප්‍රධානීන්, පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
