තල්පේ වෙරළේදී ප්‍රංශ ජාතික සංචාරක කාන්තාවන්ට මුදල් ඉල්ලා තර්ජනය කළ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට – දමිත් සඳනුවන් කීර්ති

හබරාදූව පොලිස් වසමේ තල්පේ ප්‍රදේශයේදී මුහුදේ කැස්බෑවන් නැරඹීමට පැමිණි විදේශීය කාන්තාවන් පිරිසකට බලහත්කාරයෙන් මුදල් ඉල්ලා සාපරාධී තර්ජනය කළ පුද්ගලයින් දෙදෙනෙකු (7දා)අත්අඩංගුවට ගත්බව උණවටුන සංචාරක පොලිස් ස්ථානය පවසයි.

මෙහිදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටී ප්‍රංශ ජාතික කාන්තාවන් පස්දෙනෙකු තල්පේ වෙරළ තීරයේදී කැස්බෑවන් නැරඹීමට ගිය අවස්ථාවේදී, එම ස්ථානයට පැමිණි මෙම සැකකරුවන් දෙදෙනා ඔවුන්ට කැස්බෑවන් පෙන්වීමට යැයි පවසමින් බලහත්කාරයෙන් මුදල් ඉල්ලා ඇත. එහිදී මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ සැකකරුවන් විසින් එම විදේශීය කාන්තාවන්ට සාපරාධී ලෙස බියවද්දා තර්ජනය කර ඇති බවට පැවසේ

පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ප්‍රංශ ජාතික කාන්තාවන් විසින් හබරාදූව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි .

ඉන් අනතුරුව හබරාදූව සංචාරක පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත ක්‍රියාත්ම වී අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා හබරාදූව පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

මෙලෙස මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සිද්ධිය සිදු වූ ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.

හබරාදූව සංචාරක පොලිස් ස්ථානයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අමිල ප්‍රියංකර,පොලිස් සැරයන්වරුන් වන සමරනායක (33636),ජයන්ත(59433) යන නිලධාරීන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර හබරාදූව පොලිස් ස්ථානයට අනුබද්ධ හබරාදූව සංචාරක පොලිස් ස්ථානය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *