ත්‍රිකුණාමලයේ වනජීවී නිලධාරීන්ගේ ක්ෂේත්‍ර රාජකාරි සඳහා යතුරුපැදි 13ක්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ වනජීවී සංරක්ෂණ කටයුතු විධිමත් කිරීම සහ ක්ෂේත්‍ර රාජකාරි කාර්යක්ෂම කිරීමේ අරමුණින්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා නවීන යතුරුපැදි 13ක් නිල වශයෙන් භාරදීම පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පස්වරුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය වනජීවී කාර්යාලයේදී සිදු කෙරිණි.

ක්ෂේත්‍ර නිලධාරීන් මුහුණ දෙන ප්‍රවාහන හා යටිතල පහසුකම් සම්බන්ධ ගැටලු සඳහා අදියරගත විසඳුමක් ලෙස මෙම යතුරුපැදි 13 ලබාදීම සිදුකර ඇති අතර ඉදිරියේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අලි වැට පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම අනෙකුත් වාහන හා යන්ත්‍රෝපකරණ පහසුකම්ද පුළුල් කිරීමට නියමිතය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ වාර්තා වන අනවසර ගස් කැපීම්, වන විනාශයන් සහ අනවසර මිනිස් ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා ක්ෂේත්‍ර නිලධාරීන්ට කඩිනමින් අදාළ ස්ථාන වෙත ළඟාවීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වේ.

විශේෂයෙන්ම වනඅලි තර්ජන පවතින ගම්මාන වෙත කඩිනමින් ළඟාවීම, අලි වැට නඩත්තු හා අධීක්ෂණ කටයුතු වේගවත් කිරීම මෙන්ම ක්ෂේත්‍ර රාජකාරිවල පවතින ප්‍රමාදයන් අවම කර ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා මෙම පහසුකම් මඟින් අවස්ථාව සැලසෙනු ඇත.

වනජීවී හා වන සංරක්ෂණ කලාප ආශ්‍රිතව පවතින ඉඩම් සම්බන්ධ ගැටලු කළමනාකරණය කිරීම සඳහාද අවධානය යොමු කර තිබේ.

එමෙන්ම උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් පත්කර ඇති විශේෂ කමිටුව හරහා මෙතෙක් නිරාකරණය නොවූ ගැටලු සඳහා විනිවිදභාවයෙන් යුත් තිරසර විසඳුම් ලබාදීමට පියවර ගනු ඇත.

වනජීවී ආරක්ෂණ කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සහ අලි-මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සඳහා මානව හා භෞතික සම්පත් කාර්යක්ෂමව යොදාගනිමින් ඉදිරි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමටද අවධානය යොමු කර තිබේ.

මෙම අවස්ථාවට ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන මහතා, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයා, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

END/GONP/MMP/26082026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *