නයිනතිව් අසල අනතුරට ලක්වූ බෝට්ටුවේ මගීන් 10 දෙනාම සුරක්ෂිතව මුදාගනී
යාපනය කුරිකට්ටුවාන් ජැටියේ සිට ඩෙල්ෆ් දූපත බලා මගීන් 10 දෙනෙකු රැගෙන ගමන් කළ බෝට්ටුවක් අද (16) සවස නයිනතිව් (නාගදීපය) ආසන්නයේදී අනතුරට ලක්වූ අතර, එහි සිටි සියලු මගීන් සුරක්ෂිතව මුදාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වී ඇත.
කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් අටදෙනෙකු රැගෙන ගමන් කළ බෝට්ටුව අනතුරට ලක්වූ බවට තොරතුරු ලැබුණු වහාම ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවට වහාම මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කරන ලෙස උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව, නාවික හමුදාව නයිනතිව් සහ ඩෙල්ෆ් ප්‍රදේශවාසීන්ගේ සහයෝගයද ඇතිව කඩිනම් මුදාගැනීමේ මෙහෙයුමක් දියත් කරමින් මගීන් 10 දෙනාම ආරක්ෂිතව බේරාගෙන තිබේ.
මුදාගත් සියලුදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා නයිනතිව් රෝහලට ඇතුළත් කර ඇත.
මේ අතර, බෝට්ටුව අනතුරට ලක්වීමට හේතුව සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
එමෙන්ම, බෝට්ටුවේ ගමන් කළ පිරිසට ප්‍රමාණවත් ජීවිතාරක්ෂක කබා ලබාදී තිබුණේද, ආරක්ෂිත ක්‍රියාමාර්ග නිසි පරිදි අනුගමනය කර තිබුණේද යන්න පිළිබඳවද පරීක්ෂණ පවත්වා වාර්තා කරන ලෙස අමාත්‍යවරයා නියෝග කර ඇත.
මගීන්ගේ ජීවිතාරක්ෂාව තහවුරු කිරීම සඳහා මුහුදු ගමනාගමන ආරක්ෂණ ක්‍රියාපටිපාටීන් දැඩි ලෙස අනුගමනය කළ යුතු බවත්, මෙවැනි සිදුවීම් යළි සිදු නොවන පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දී තිබේ.
