රු. මිලියන 2,500ක ආදායම් උත්පාදන ව්‍යාපෘති දිවයින පුරා අද ඇරඹේ!

2026 වසරේදී දිවයින පුරා පළාත් පාලන ආයතන මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිත රුපියල් මිලියන 2,500ක වටිනාකමින් යුත් ආදායම් උත්පාදන ව්‍යාපෘති 100කට අධික සංඛ්‍යාවක ප්‍රධාන සමාරම්භක උත්සව අද (14) පෙරවරු 9.30ට පැවැත්වීමට නියමිතය.

ඒ අනුව, ප්‍රධාන සමාරම්භක උත්සවයක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම, මදුරන්කුලියේදී අනෙක් සමාරම්භක උත්සවය පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට, අඟුණකොළපැලැස්සේදීත් පැවැත්වේ.

“පුනරුදයේ පුරවර” ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිවල ප්‍රධාන අරමුණ වන්නේ පළාත් පාලන බල ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම මෙන්ම පළාත් පාලන ආයතන මධ්‍යම රජයේ ප්‍රතිපාදන මත පමණක් යැපීමෙන් තොරව ආර්ථික වශයෙන් ස්වාධීන ආයතන බවට පත් කිරීම සඳහා නව ආදායම් මාර්ග නිර්මාණය කිරීම සහ පවතින ආදායම් මාර්ග වැඩිදියුණු කිරීමයි.

ඒ සඳහා 2026 වසරේදී පළාත් පාලන ආයතන වෙත ලබාදෙන ප්‍රාග්ධන ප්‍රතිපාදන ඉහළ නැංවීමට වත්මන් රජය තීරණය කර ඇත. ඒ අනුව මෙම වසරේ අයවැය මගින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය හරහා ආදායම් උත්පාදන ව්‍යාපෘති සඳහා කාර්ය සාධනය මත පදනම් වූ ප්‍රාග්ධන ප්‍රදාන ලෙස රුපියල් මිලියන 2,500ක මුදලක් වෙන් කර තිබේ.

රටක සමස්ත සංවර්ධනයේ මූලික තැනුම් ඒකකයක් වන ග්‍රාමීය ප්‍රජාවගේ ආර්ථික හා සමාජීය සංවර්ධනය ශක්තිමත් කිරීම සඳහා පළාත් පාලන ආයතන සක්‍රීය හා කාර්යක්ෂම ආයතන ලෙස පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ. එබැවින් පළාත් පාලන ආයතනවල ආදායම් මාර්ග ශක්තිමත් කරමින් ඒවා මූල්‍යමය වශයෙන් ස්වාධීන ආයතන බවට පත් කිරීම මෙම වැඩසටහනේ එක් ප්‍රධාන අරමුණකි.

පසුගිය කාලය තුළ මූල්‍ය විනයේ දුර්වලතා, නාස්තිය, අවභාවිතාව සහ අක්‍රමිකතා හේතුවෙන් මෙන්ම වසර ගණනාවක් මහජන නියෝජිතයින් නොමැතිව පවත්වාගෙන යාම හේතුවෙන් පළාත් පාලන ආයතන රැසක් අකාර්යක්ෂම තත්ත්වයකට පත්ව තිබිණි.

එම තත්ත්වය වෙනස් කර පළාත් පාලන ආයතනවල සේවාවන් සහ කාර්යක්ෂමතාව නැවත ගොඩනැංවීම සඳහා වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් “පුනරුදයේ පුරවර” ජාතික වැඩසටහන ආරම්භ කර ඇත. ඒ යටතේ විශාල ප්‍රතිපාදන වෙන් කරමින් සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට ක්‍රියාත්මක වේ.

එහි තවත් පියවරක් ලෙස ග්‍රාමීය පාලම් 800ක් ඉදිකිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් පසුගිය ජූලි 14 වැනිදා දිවයින පුරා ආරම්භ කෙරිණි.

ආදායම් උත්පාදන ව්‍යාපෘති සඳහා 2026 වසරට අදාළ යෝජනා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් කැඳවා තිබූ අතර එක් එක් පළාත් පාලන ආයතනයේ ආදායම් මට්ටම, පසුගිය වසරේ කාර්ය සාධනය සහ යෝජිත ව්‍යාපෘතිය සඳහා වැය වන සම්පූර්ණ මුදල වසර පහක කාලයක් තුළ උපයා ගැනීමට ඇති හැකියාව ඇතුළු කරුණු සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් මගින් ශක්‍යතා සමාලෝචනයක් සිදු කිරීමෙන් අනතුරුව ව්‍යාපෘති යෝජනා අනුමත කර තිබේ.

ඒ අනුව වෙළඳ සංකීර්ණ, කායවර්ධන මධ්‍යස්ථාන, ගොඩනැගිලි ද්‍රව්‍ය තත්ත්ව පර්යේෂණාගාර, කොන්ක්‍රීට් වැඩපළ, පානීය ජල ව්‍යාපෘති, කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘති, වී වේලන මධ්‍යස්ථාන, සංචාරක පහසුකම් සංවර්ධන ව්‍යාපෘති, ගෘහස්ථ ක්‍රීඩාංගණ, සූර්ය බලශක්ති පද්ධති, පෙර පාසල් හා ළමා උද්‍යාන, දේශීය ආහාර නිෂ්පාදන හා සැකසුම් මධ්‍යස්ථාන, අවන්හල් හා භෝජනාගාර, අවමංගල්‍ය ශාලා හා ආදාහනාගාර, සංචාරක බංගලා හා නිවාඩු නිකේතන, ශ්‍රවණාගාර, රථ ගාල්, විදුලි වාහන නැවත ආරෝපණ මධ්‍යස්ථාන සහ වාහන සේවා මධ්‍යස්ථාන ඇතුළු ව්‍යාපෘති රැසක් මෙම වැඩසටහන යටතේ ආරම්භ කිරීමට නියමිතය.

END/GONP/MMP/14082026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *