ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් ඇතුළත – උසස් පෙළ ප්‍රතිඵල වසර අවසන් වීමට පෙර

2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාසයක් ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බව, අද (10) පෙරවරුවේ විභාග දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළාය. ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම් කටයුතු අගෝස්තු 20 සිට 25 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද ඇය පැවසුවාය.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඊයේ (09) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,723කදී පැවැත්විණි.

ඒ සඳහා සිසුන් 294,089 දෙනෙකු පෙනී සිටි අතර, ඉන් සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366 දෙනෙකු සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723 දෙනෙකු විභාගයට පෙනී සිටියහ.

උසස් පෙළ විභාගය අද සිට සැප්තැම්බර් 05 වැනිදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,532කදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර,  අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලද මෙම වසර අවසන් වීමට පෙර නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.

සියලුම විභාග අපේක්ෂකයින් විභාග දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති උපදෙස් හා විභාග නීති රීතිවලට අනුකූලව කටයුතු කළ යුතු බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය  වැඩිදුරටත් අවධාරණය කළාය.

END/MMP/10082026

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *