රුපියල් ලක්ෂ 1,227කින් තල්දෙන මහා වාරි ව්‍යාපෘතියේ ස්ථීර ප්‍රතිසංස්කරණ ඇරඹේ!

බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා පෙර කිසිදු රජයක් යටතේ නොලැබුණු මට්ටමේ ප්‍රතිපාදන මෙවර වෙන් කර ඇති බව ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රදේශයේ පිහිටි තල්දෙන මහා වාරි ව්‍යාපෘතියේ ස්ථීර ප්‍රතිසංස්කරණ කටයුතු පසුගියදා(18) ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

තාවකාලික ප්‍රතිසංස්කරණයකට පමණක් සීමා නොවී, රුපියල් ලක්ෂ 1,227ක පිරිවැයකින් තල්දෙන මහා වාරි ව්‍යා ව්‍යාපෘතිය ස්ථීර ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට රජය පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් දැඩි හානි සිදුවූ තල්දෙන මහා වාරි ව්‍යාපෘතිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ ප්‍රදේශයේ ගොවි ජනතාව සහ ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් කඩිනමින් තාවකාලිකව ප්‍රතිසංස්කරණය කර තිබූ බවද ඔහු සඳහන් කළේය. එම කටයුතු හේතුවෙන් ගොවි ජනතාවගේ වගා කටයුතු අඩාල නොවන පරිදි 2026 ජනවාරි මාසයේ සිට නැවත දියවර නිකුත් කිරීමට හැකි වූ බවද අමාත්‍යවරයා පැවසීය.

දිගුකාලීන විසඳුමක් ලෙස ක්‍රියාත්මක වන මෙම ස්ථීර ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා රජය රුපියල් ලක්ෂ 1,227ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, එමඟින් අක්කර 350ක වගාබිම් සඳහා විධිමත් ජල සැපයුමක් සහතික කිරීමට අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ වූ පසු ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ස්ථාවර හා තිරසාර විසඳුමක් සැලසෙනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල, සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපති ජයලත් එදිරිමාන්න, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මීගහකිවුල ප්‍රාදේශීය ලේකම්වරිය සහ ප්‍රදේශයේ ගොවි ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

END/GONP/MMP/21072027

Leave a Reply

Your email address will not be published. Required fields are marked *