ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින්න – ධීවර දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්

ඉදිරි පැය 24ක කාලය තුළ දිවයින වටා වන වෙරළ ආසන්න මුහුදු කලාප රළු හෝ ඉතා රළු විය හැකි බැවින් ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සියලු ධීවරයින්ට දැනුම් දී තිබේ.

අද (02) පෙරවරු 10.30ට නිකුත් කළ විශේෂ කාලගුණ නිවේදනයට අනුව, මුලතිව් සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර දක්වා ඉහළ යා හැකි බව සඳහන් වේ.

එම හේතුවෙන් අදාළ මුහුදු කලාප ධීවර රැකියාව සඳහා ඉතා අවදානම් තත්ත්වයක පවතින බවත්, මේ වන විටත් මුහුදේ රැකියාවේ නිරත වන ධීවර යාත්‍රා ඇත්නම් වහාම ආරක්ෂිතව ගොඩබිම වෙත පැමිණිය යුතු බවත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා අවධාරණය කර ඇත.

එමෙන්ම, ඕනෑම ධීවර කටයුත්තකදී ජීවිතාරක්ෂක කබා පැළඳීම අනිවාර්ය බවද ඔහු සිහිපත් කරයි.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ බලධාරීන්ගේ උපදෙස් පිළිපදිමින් තම ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙස ධීවර ප්‍රජාව වෙත වැඩිදුරටත් දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *