2026 සම්පූර්ණ අයවැය කතාව

2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (07) ඉදිරිපත් කළේය.

මෙලෙස අද ඉදිරිපත් කෙරුණේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ දෙවැනි අයවැය වන අතර, 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434කි.

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සම්පූර්ණ අයවැය යෝජනාව ඇතුළත් කතාව පහත දැක්වේ.

ගරු කථානායකතුමනි,

අපගේ දෙවන ජාතික අයවැය මෙම ගරු සභාව වෙත ඉදිරිපත් කිරීමට ලැබීම ඉමහත් සතුටක්.

ශ්‍රී ලාංකික ජනතාව අපට ලබාදුන් ඓතිහාසික ජනවරමින් පසු, ගත වූ වසරක් වැනි කෙටි කාලයක් ඇතුළත, ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා අප පැහැදිලි දැක්මකින් යුතුව තීරණාත්මක පියවර රාශියක් ගත්තා. මෙතෙක් පැවති ඥාති සංග්‍රහය, ඒ හා බැඳුනු දූෂිත දේශපාලන සංස්කෘතියේ පැහැදිළි වෙනසක් වෙනු ඇතැයි ජනතාව අපේක්ෂා කළා. ඒ විශ්වාසය රැක ගැනීමට අප ගෙන ඇති පරිවර්තනීය පියවර ගැන අද අපට ආඩම්බර වීමට පුළුවන්. ආර්ථිකය හා දේශපාලන ව්‍යුහය නව්‍යකරණය කිරීමටත්, මහජන කේන්ද්‍රීය ආණ්ඩුකරණයක් බිහි කිරීමටත්, නීතියේ හාවිධානයේආධිපත්‍යය තහවුරු කිරීමටත්, පාලනය ශක්තිමත් කිරීමටත්, අප ආර්ථිකයේ අත්පත් කර ගන්නා ජයග්‍රහණ රටේ පතුළේම වෙසෙන ජනතාව කරා ගෙන යාමටත් අප අඛණ්ඩ මෙහෙයුමක් ආරම්භ කොට තිබෙනවා.

ගරු කථානායකතුමනි,

අප මෙම අභියෝගය බාරගන්නා මොහොතේ දී, රටේ ආර්ථික පදනම දෙදරා ගොස් තිබුණා. දශක ගණනාවක් පුරා පැවති සාර්ව ආර්ථික අස්ථාවරභාවය හා රාජ්‍ය මූල්‍ය අසමතුලිතතා, ව්‍යුහාත්මක අකාර්යක්ෂමතා සහ පාලනයේ දුර්වලතා හේතුවෙන් සමස්ත ආර්ථිකයම දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ පා තිබුණා. එයින් අපගේ ජනතාව දැඩි පීඩනයකට ලක්වුණා. මෙම අර්බුදයට කිසිසේත්ම වගකිවයුතු නැති ජනතාවගේ බලාපොරොත්තු සුනුවිසුණු වී තිබුණා. ඒ නිසාම, අප ජනවරම ලැබූ මොහොතේ සිටම, සාර්ව ආර්ථිකය ස්ථාවර කිරීමටත්, රාජ්‍ය මූල්‍ය විනය තහවුරු කිරීමටත්, රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීමටත්, දූෂණයට තිත තබමින් විනිවිදභාවය ඉහළ නැංවීමටත්, ජනතාව කෙරෙහි වගවීම තහවුරු කිරීමටත්, ඉතා පුළුල් වූ ප්‍රතිසංස්කරණමය වෙනස්කම් ආරම්භ කළා. මෙකී ප්‍රතිසංස්කරණයන් හේතුවෙන් වසරක් වැනි කෙටි කාලයක් ඇතුළත, රාජ්‍ය මූල්‍ය, සාර්ව ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය යළි ස්ථාපිත කිරීමට හැකි වූ බව, අද මෙම ගරු සභාවට මම ඉතා සතුටින් ප්‍රකාශ කරන්න කැමැතියි.

ආර්ථිකයේ සියලුම අංශවල ශක්තිමත් වර්ධනය හේතුවෙන්, 2025 වසරේ පළමු භාගය තුළ දී, ආර්ථිකය සියයට 4.8 කින් වර්ධනය වුණා. එය බහුපාර්ශවික සංවිධානවල පුරෝකථයන් ද අභිබවා යාමක්. උද්ධමනය මේ වනවිට නැවත ධන අගයකට පැමිණ තිබෙනවා. භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතිකය අඩුවීමෙන් මූල්‍ය අංශය ස්ථාවර වී තිබෙනවා. විනිමය අනුපාතිකය ද ස්ථාවර වී තිබෙනවා. ගෝලීය කම්පනයන් මධ්‍යයේ පවා ආනයන අපනයන ඇතුලත් විදේශ අංශය ශක්තිමත් වුණා. අපනයන, සංචාරක සහ විදේශ ප්‍රේෂණ ගලා ඒම ඉහළ යාම හේතුවෙන්, දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ඉක්මවා ගියා. 2006 වසරේ සිට ආසන්න වශයෙන් දශක දෙකකට පසු රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 16 ක මට්ටමට ලඟා වීමට මේ වසරේ දී හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා. එමෙන්ම මේ වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 2.3 ක වූ ඉලක්කගත අගය කැපී පෙනෙන ලෙස ඉක්මවා යන, ඉතිහාසයේ ඉහළම ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.මෙම තත්ත්වයන් හේතුවෙන් ජාත්‍යන්තර පාර්ශවකරුවන් සමඟ ශක්තිමත් සම්බන්ධතා ගොඩනඟා ගැනීමටත්, ආයෝජකයින්ගේ විශ්වාසය පෙර නොවූ විරූ ලෙස ගොඩනැංවීමටත් අපට හැකිව තිබෙනවා.

ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගැනීම සඳහා ආරම්භක මූලික ක්‍රමෝපාය වූයේ රාජ්‍ය මූල්‍ය විනයත් සමඟම විනිවිදභාවයෙන් හා වගවීමෙන් යුත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක් ඇති කිරීමයි. දේශීයව ආදායම් රැස් කිරීම ශක්තිමත් කිරීම, ආදායම් පරිපාලනය ඩිජිටල්කරණය කිරීම, රාජ්‍ය වියදම් තාර්කීකරණය කිරීම තුළින් ඉහළ ප්‍රාථමික අතිරික්තයක් වාර්තා කිරීමට සමත් වුණා. මෙම ප්‍රාථමික අතිරික්තයේ අඛණ්ඩ ඉහළ යාම, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස මධ්‍යම රජයේ ණය ප්‍රමාණය 2022 වසරේ පැවති සියයට 114.2 ක අගයේ සිට 2026 වසර වන විට සියයට 96.8 දක්වා කැපී පෙනෙන ලෙස අඩු වීමට දායක වෙනවා. තවද, 2030 වසර වන විට එම අගය සියයට 87.0 ක පමණ මට්ටමකට ළඟා කර ගැනීමට අපේක්ෂා කරනවා. එම ප්‍රතිඵල හේතුවෙන් අපගේ ප්‍රමුඛතම අපේක්ෂාව වන ණය අර්බුදයෙන් මිදීමසඳහා වූ මාර්ගය විවෘතව තිබෙනවා.

2020 වසරේ දී ආර්ථිකයේ තිබුණු අර්බුදකාරී තත්ත්වය ක්‍රමිකව පුපුරා යන තත්ත්වයකට පත්වුනා. මෙය ආර්ථිකයේ සියලු ක්ෂේත්‍ර කරා ඩොමිනෝ ආකාරයෙන් පැතිර ගියා. එහි අවසන් ප්‍රතිඵලය වූයේ 2022 වසරේ අප්‍රේල් වන විට අප බංකොලොත් රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්වීමයි.මෙම ආර්ථික බංකොලොත්භාවය විසින් අප රටට අහිමි දශකයක් නිර්මාණය කළා. එනම්, අර්බුදයට පෙර පැවැති ආර්ථික තත්ත්වය ළඟාකර ගැනීම සඳහා අවුරුදු 10 ක් ගතවන බවයි. ඒ අනුව බොහෝ අය ප්‍රකාශයට පත් කළේ එම 2019 වසරේ ආර්ථික තත්ත්වය 2029 වසරේ දී ළඟාකර ගන්නා බවයි. එහෙත් 2025 වසර අවසන් වන විට අර්බුදයට පෙර පැවැති ආර්ථික තත්ත්වය ළඟා කර ගැනීමට අපට හැකි වෙනවා.

ගරු කථානායකතුමනි,

අපගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යය බොහෝ දුරට අවසන් වී තිබෙනවා. ශ්‍රී ලංකාව තිරසාර මූල්‍ය මාවතකට යොමු කර ඇති අතර දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින්ගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කර තිබෙනවා. මෙම අත්පත් කරගත් ප්‍රගතිය හේතුවෙන්, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන වන FitchRatings, Moody’s සහ S&P විසින්රටේ ස්වෛරී ශ්‍රේණිගත කිරීම් පිළිවෙලින් CCC+, Caa1 සහ CCC+දක්වා ඉහළ නංවා තිබෙනවා. මෙම නව ශ්‍රේණිගත කිරීම් ශ්‍රී ලංකාවේ ආයෝජන පිළිබඳ විශ්වාසය තවදුරටත් පිළිබිඹු කෙරෙන කැඩපතක් වෙනවා.

අපගේ ජාතික අවශ්‍යතා මුදුන්පත් කිරීමේ අරමුණෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ සහ අනෙකුත් ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන්ගේ සහභාගීත්වය ඇතිව අපට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරමින් සිටිනවා. එම වැඩසටහනෙහි ඉලක්ක හා ව්‍යුහාත්මක මිණුම් දඬු සපුරාලමින්, අනුක්‍රමිකව සිදුකරන සමාලෝචන සම්පූර්ණ කිරීමට හා එහි ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීමට අප සමත්ව තිබෙනවා. සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම සහ දිගුකාලීනව ඔරොත්තු දීමේ හැකියාව සඳහා අත්‍යවශ්‍ය වන රාජ්‍ය මූල්‍ය හා විදේශීය ස්වාරක්‍ෂක නැවත ගොඩනැඟීමේ දී රජය සහ ජාත්‍යන්තර සංවිධානවල ඇති සහයෝගීතාවය විසින් ඉහළ ප්‍රගතියක් අත්කර දී තිබෙනවා.

එමෙන්ම, සමාජ ආරක්ෂණය සහ මානව සම්පත් සංවර්ධනය අපගේ ප්‍රතිපත්ති ප්‍රවේශයේ මූලික අරමුණක්. ඒ සඳහා, අස්වැසුම වැඩසටහන යාවත්කාලීන කර පුළුල් කිරීම මඟින්, සැබවින්ම සුදුසුකම් සහිත අඩු ආදායම්ලාභී පවුල්වලට ආධාර ලබාදීම අපේක්ෂා කරනවා. තවදුරටත් අඩු ආදායම්ලාභීන්ට එම ආධාර ලබාදීම සහතික කිරීම වෙනුවෙන්, එම ප්‍රතිලාභීන් 2026 වසරේ දී සමාලෝචනයට ලක් කරනවා. ඒ වගේම වැඩිහිටියන් සහ වකුගඩු රෝගීන් සඳහා වන දීමනා වැඩි කළා. විශ්වවිද්‍යාල සිසුන්ට සහාය දීම සඳහා මහපොළ ශිෂ්‍යත්ව සහ ශිෂ්‍යාධාර දීමනා ද ඉහළ නංවනු ලැබුවා. අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල පාසල් සිසුන්ට පොත්පත් සහ පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දුන්නා. මෙම කාර්යයන්ගේ අරමුණ වන්නේ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සැබෑ අවශ්‍යතාවයක් සහිත ජනතාවට ලබාදීමයි.

වඩා ගුණාත්මක සහ කාර්යක්ෂම සේවා සැපයීමක් සඳහා රාජ්‍ය අංශය ප්‍රතිසංස්කරණය කර නවීකරණය කිරීමට අවශ්‍යයි. ඒ සඳහා අපගේ කැපවීම, අපගේ පළමු අයවැයෙන්ම පෙන්නුම් කළා. ඒ සඳහා මේ වන විටත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප අදියර 3 කින් වැඩි කර තිබෙනවා. රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු පිරවීමට පියවර ගෙන තිබෙනවා. රාජ්‍ය අංශය ඩිජිටල්කරණයට උපායමාර්ග සකස් කරමින් තිබෙනවා. රාජ්‍ය අංශය ප්‍රතිසංවිධානයට කටයුතු කරනවා. මෙ‍හි අරමුණ ජනතාවට සැබවින්ම සේවය කළ හැකි කාර්යක්ෂම සහ ආකර්ෂණීය රාජ්‍ය සේවාවක් ගොඩනැඟීමයි.

ගරු කථානායකතුමනි,

පාලන ප්‍රතිසංස්කරණ හා දූෂණ විරෝධී ක්‍රියාකාරකම් වේගවත් කර, විනිවිදභාවය, වගවීම සහ මහජන විශ්වාසය තහවුරු කිරීමට අප සමත්ව තිබෙනවා. පෞද්ගලික-රාජ්‍ය හවුල්කාරීත්වයන්, රාජ්‍ය ව්‍යවසායයන්, රාජ්‍ය වත්කම් කළමනාකරණය සහ රාජ්‍ය ප්‍රසම්පාදනය පිළිබඳ නව නීති සම්පාදනය කිරීම මඟින්, යල්පැන ගිය නීති රීති ක්‍රමවේද, නව නීති පද්ධතියක් මඟින් ප්‍රතිස්ථාපනය කිරීම අපගේ අපේක්ෂාවයි. ඒ සඳහා අවශ්‍ය වන නව පනත් කෙටුම්පත් මේ වන විට අවසන් අදියරේ පවතිනවා. රාජ්‍ය මූල්‍ය කටයුතුවලට අදාළ අපගේ ඩිජිටල් ප්‍රවේශය ද මේ වන විට බොහෝ ක්ෂේත්‍රවල ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒකාබද්ධ භාණ්ඩාගාර කළමනාකරණ තොරතුරු පද්ධතිය ශක්තිමත් කිරීමත්, විද්‍යුත්-ප්‍රසම්පාදන පද්ධතිය නිර්මාණය කිරීමත් මඟින් කාර්යක්ෂම හා වංචා හා දූෂණ අයුතු ක්‍රියාවන් සඳහා අවකාශයන් තවදුරටත් අහෝසි කරනවා.

‘දූෂණය කියන්නේ දුප්පතුන් මත පටවන ලද බද්දක්, ඒ වගේම එය අපගේ සංවර්ධනය වෙළා ගත් විලංගුවක්’. අපගේ ප්‍රතිසංස්කරණ හුදෙක් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා පමණක්ම නොවේ; ඒවා සමාජ යුක්තිය ඉටුකිරීම සඳහා ද වැදගත් මෙවලම්වෙනවා. විවිධ අධ්‍යයනයන්ගෙන් තහවුරු වී තිබෙන කරුණු අනුව, දූෂණය අවම කිරීම මඟින් ආර්ථික වර්ධනය ඉහළ නැංවිය හැකියි. එම නිසා වත්කම් හා උපයාගත් ධනය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයේ විනිවිදභාවය වැඩිදියුණු කර තිබෙනවා. තවද,අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අයවැය සහ කාර්ය මණ්ඩල ස්වාධීනත්වය සුරක්ෂිත කිරීමට කටයුතු කර තිබෙනවා. 2026 වසරේ මාර්තු මාසය වන විට ඩිජිටල් වත්කම් ප්‍රකාශ කිරීමේ පද්ධතියක් හඳුන්වා දීමට පියවර ගන්නවා, ඒ වගේම 2026 වසරේ දී අධිකරණ නිලධාරීන් සඳහා ආචාර ධර්ම සංග්‍රහයක් හඳුන්වාදීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමට ද අපේක්ෂා කරනවා. ඊට අමතරව, දේශපාලකයින්ට සහ ඉහළ පෙළේ නිලධාරීන්ට මෙතෙක් තිබූ අනවශ්‍ය වරප්‍රසාද කපා හැරීමට කටයුතු කළා. ඒ අනුව අපි සාධාරණත්වය සහ සමානාත්මතාව මත පදනම් වූ නව සමාජයක් ගොඩනැඟීම අරමුණු කරමින් වැඩ කරනවා.

දූෂණය වැළැක්වීම සඳහා ගනු ලබන පියවර මඟින් ආයෝජකයින්ට හිතකාමී පරිසරයක් නිර්මාණය කරමින් සිටිනවා. අපගේ රජය පෞද්ගලික අංශයට සතුරු විය හැකි බවටත්, ආයෝජන අධෛර්යමත් කරනු ඇති බවටත්, දේපල පවරා ගනු ඇති බවටත් විවිධ පාර්ශවයන් විසින් ද්වේෂ සහගත ප්‍රචාරයන් ව්‍යාප්ත කළා. මේවා පදනම් විරහිත ප්‍රකාශයන් බව දැන් ඔප්පු වී තිබෙනවා. ආයෝජන ආරක්ෂණය සහතික කිරීමට සහ ව්‍යාපාර කිරීමේ පහසුව සහතික කිරීමට අවශ්‍ය නව නීති සම්පාදනය කරමින් නියාමන රාමු ශක්තිමත් කරමින් සිටිනවා. අවිධිමත් ක්‍රම ඔස්සේ සිය ගජමිතුරන්ට බදු නිදහස් කිරීම් සහ බදු සහන ලබාදීමේ සංස්කෘතිය අප අවසන් කර දැමුවා. විනිවිදභාවයෙන් යුතු, රීති මත පදනම් වූ නිර්ණායක අනුව බදු සහන ලබාදීම සඳහා ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත සහ වරාය නගර පනත යන පනත් දෙකම සංශෝධනය කරනවා. බදු නිදහස් කිරීමේ විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා, ලබාදුන් බදු නිදහස් කිරීම් පිළිබඳ ප්‍රකාශයක් වසරකට දෙවරක් මුදල් අමාත්‍යංශයේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරනවා. එමෙන්ම සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය -SVAT- අවලංගු කර, බදු ආපසු ගෙවීමේ ක්‍රියාවලිය විනිවිදභාවයෙන් යුතුව සහ කාර්යක්ෂම, කරමින් පවතින අතර එය බදු පරිපාලනය තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වෙනවා.

සම්පූර්ණ අයවැය කථාව කියවීම සඳහා පහත සබැඳිිය මත ක්ලික් කරන්න ;  

https://sinhala.news.lk/parliament/2026

END/GONP/MMP/08112025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *