වතු සේවකයන්ගේ අවශ්‍යතාව මතු වන්නේ ගෘහ සේවිකාවන් සොයා ගැනීමේදී යැයි මානව හිමිකම් කාර්යාලය කියයි. – නදීක දයා බණ්ඩාර

තේ වතු ආශ්‍රිත ජනතාවගේ අවශ්‍යතාව බොහෝ විට මතු වී ඇත්තේ ගෘහ කම්කරු සේවිකාවන් සොයා ගැනීමේදී යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කාර්යාලයේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකාරක විරංජන් සුමසේකර මහතා පවසයි.

මෙරට ආර්ථිකයට තේ වතු කම්කරුවන් විශාල දායකත්වයක් ලබා දුන්නත් ඔවුන්ගේ සමාජ අභිවෘද්ධිමය කටයුතු සිදුවන්නේ අල්ප වශයෙන් යැයි ද ඒ මහතා තව දුරටත් පැවසුවේය.

ජාත්‍යන්තර තේ දිනයට සමගාමීව කම්කරු දායකත්වය ඇගයීම සහ කම්කරු අවශ්‍යතා පිළීබද සඳහන් සන්දේශය එළිදැක්වීම නිමිත්තෙන් සාමදානම් ආයතනයේ මෙහෙයවීමෙන්  මහනුවර රැජිණ හෝටලයේදී පැවැති උත්සවයේදී ඒ මහතා මෙසේ කීවේය.

තේ නිෂ්පාදන ක්‍රියාවලිය ආශිතව විශිෂ්ට සේවයක් කළ මහනුවර දිස්ත්‍රික්කයේ කම්කරු කාන්තාවන් ඇගයීම ද මෙහිදී සිදුවිය.

වතු කම්කරුවන් සඳහා නිවාස අයිතිය ලබාදීම සම්බන්ධයෙන් වඩාත් ශක්තිමත් වැඩපිළිවෙලක් සකස් විය යුතු යැයි පෙන්වා දුන් ඒ මහතා කම්කරුවන් තේ වතුවල සේවයේ නිරතවන්නේ නම් පමණක් ලැයිම් කාමරවල ජීවත්වීමට අයිතිය හිමිවන නීති සංශෝධනය විය යුතු යැයි පෙන්වා දුන්නේය. වතු කම්කරුවන් එම රැකියාවෙන් ඉවත්ව වෙනත් වෘත්තියක් කරා යොමු වන්නේ නම් ඔවුන්ට වතු ලැයිම් නිවාසවල ජීවත්විමට අයිතියක් නොමැති බව ද කීවේය.

වසර 200ක කාලයක් තේ වතු ආශ්‍රිත කම්කරු වෘත්තීන්හි නිරතවන වෘත්තිකයන් සඳහා අවශ්‍ය මූලික පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කාර්යාලය බලධාරීන්ගේ අවධානය යොමු කරවන බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකාරක විරංජන් ඩයස් සුමනසේකර මහතා තව දුරටත් පැවසුවේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාව සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රමේෂ් රාමසාමී මහතා, මහනුවර සහකාර දිස්ත්‍රික් ලේකම් ඉඳුමිණි මැණික්දිවෙල මහත්මිය, සමාදානම් ආයතනයේ සභාපති සමන් පෙරේරා මහතා, එහි විධායක අධ්‍යක්ෂ නිරෝෂණ ඒකනායක මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *