මියගිය ඥාතීන් “සිහිකිරීමේ” වරද කිම! —  සටහන සහ ඡායාරූප – මෙලනි මානෙල් පෙරේරා


“මියගිය ඥාතීන් නැවත නැවත සිහිකිරීම, ජිවත්ව සිටින ඥාතීන් සුවපත්වීමේ අත්‍යවශ්‍ය අහිංසක පියවරක්. රටේ ජීවත්වන පුරවැසියන් හට තම මියගිය ඥාතීන් ස්මරණය කිරීමේ ඒ අයිතිය සාමකාමිව ලබාදීම රජයක වගකීමක්. දරුණු සටන් සිදුවුණු රුවන්ඩාව වගේ රටවල් නැවත එවැනි සටන් ඇතිනොවන්නට රාජ්‍ය අනුග්‍රහයෙන් ම විවිධ පියවර ගෙන තිබෙනවා. එබැවින් ශ්‍රී ලංකාව තුළ දශක තුනක් පුරාවට පැවති සිවිල් යුද්ධය නිසා ජීවිත අහිමි වූ ඥාතීන් සිහිකිරීමේ අයිතියට බාධා කිරීම අනවශ්‍යයි. රජයක් හැටියට ඒ සිහිකිරීම්වලට නිදහස ලබාදිය යුතුයි. නැතිනම් ඒක අසාධාරණයි.” මෙය, බහු ආගමීක නායකයින්ගේ මතයයි. සමාජ සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියාකරන ක්‍රියාධරයින්ගේ මතයයි. පුරවැසියන්ගේ ද මතයයි.
 
ඔවුන් එසේ අදහස් දැක්වූයේ, යුද්ධය අවසාන වී වසර 15ක් ගත වී තිබුණ ද, නිල වශයෙන් සිවිල් යුද්ධය අවසන් කළ දිනය ප්‍රධානකොට සහ යුද්ධයෙන් මිය ගිය සිය ඥාතීන් ස්මරණය කිරීමේ “මැයි 18 සිහිකිරීම” සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය සහ ජාතීවාදී කණ්ඩායම් විසින් මේ වසරේදී ත් උතුර – නැගෙනහිර ප්‍රධානකොට ක්‍රියාත්මක කළ මර්ධනය හා හිංසා කිරීම් සම්බන්ධයෙන් සිදුකළ අදහස් විමසීමකදී ය.
 
අවසන් යුද්ධයේ දී ඔවුන්ගේ දුක්විඳීමේ දින සහ යුද්ධය තුළ මියගිය සිය ඥාතීන්  සිහිපත් කිරීමේ සාමාන්‍ය ක්‍රියාදාමය අනුගමනය කරමින්, ප්‍රධාන වශයෙන් උතුරු නැගෙනහිර පළාත් ද, දිවයිනේ ඇතැම් ප්‍රදේශවල දී ද , දෙමළ ජනතාව විසින් සකසනු ලබන “ස්මරණයේ ලුණු කැඳ” නැතහොත් “මුල්ලිවෛක්කාල් කංජි” දානය පිළියෙළ කිරීම ආරම්භ කරනුයේ මැයි 09 වන දා සිටය.
 
එහෙත්,  මැයි 12 වැනිදා, නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයේ සාම්පූර් ප්‍රදේශයේ කෝවිලක කැඳ දානය පිළියෙළ කිරීමට මූලිකත්වය ගත් කාන්තාවන් තිදෙනකු, ප්‍රදේශයේ පොලිසිය විසින්  එදින රාත්‍රියේ දී ඔවුන්ගේ නිවෙස්වලට ඇතුළු වී අමානුෂික ලෙස වධහිංසා පමුණුවා අත්අඩංගුවට ගත්හ. 
 
යුද්ධය සමග අවසානය දක්වා ජීවත් වී දිවි ගලවාගත් දෙමළ ජනතාවට අනුව, සැමදෙනාටම ලැබුණු සහල් එකට එකතු කොට කළපුවේ හෝ මුහුදේ ජලය දමා ලුණු ද පවා නොමැතිව කැඳක් සදා, කුඩා දරුවාගේ සිට වයෝවෘද්ධ මහල්ලා දක්වා හුස්මගත් සියලුම දෙනා එම කැඳ පානය කරමින් දිවි රැකගෙන තිබුණි. 2009 මැයි 18වන දා, යුද්ධය නිමකරන දා තෙක් ඔවුන්ගේ එකම ආහාරය එකී කැඳ පානය ම විය. 

“යුද්ධය අවසාන දින ගණනාවක් තුළ අපි දුක්විඳපු හැටි, අපි ජීවත්වෙච්ච හැටි මැරෙන තුරු අපිට අමතක කරන්න බැහැ. ඊටත් වඩා, ජීවිත අහිමි වෙච්ච අපේ ඥාතීන් කිසිම මොහොතක දී අපිට අමතක කරන්න බැහැ. අපි මැරෙනකම් මේ දුක එහෙමමයි……. ” ඒ , දින – සති – මාස නොව, වසර ගණනාවක් තිස්සේ දෙපාර්ශවයක අවි ගැටීම් වලට, දරුණු ලෙස මුහුණ දුන් උතුරේ – නැගෙනහිර අහිංසක දෙමළ පුරවැසියන්ගේ කියමනයි. 

 

යුද්ධය නිමා වී වසර 15ක් පසුකර යාමේදීත් එකී යුධ වින්දිතයින් හට සිය වේදනාව තුලනයකර ගැනීමට ඉතිරිව තිබෙන එකම සහ අහිංසාවාදී ක්‍රමය වන “මියගිය සිය ඥාතීන් සිහිකිරීම සහ කැඳ දානය ලබාදීම” පමණක් වන අතර එවැනි සරළ ක්‍රියාවක්වත් නිදහසේ පැවැත්වීමට ඉඩ නොදී, පොලීසිය සහ ඇතැම් ජාතිීවාදී කණ්ඩායම් විසින් එල්ල කළ බාධාකිරීම් හා දැඩි මර්ධන  තහංචි දැමීම පිළිබඳව මධ්‍යම පළාතේ සිංහල, බෞද්ධ, මුස්ලිම් මෙන් ම ක්‍රිස්තියානි ආගමීක නායකයින් කිහිප දෙනෙකුගෙන් සහ සාමාන්‍ය ජනතාවගෙන් අපි අදහස් විමසුවෙමු. “කිසිම ආකාරයක ජාති, ආගම්, වර්ග භේදයකින් තොරව, රටේ ජීවත්වන සෑම පුරවැසියෙකු හට ම , සිය ස්වාධීන නිදහස මත මියගිය ඥාතීන් සිහිකිරිමට අයිතිය තිබිය යුතු යැයි ඔවුන් දරූ අදහස් වලින් පෙන්වා දුණි.

 
පූජ්‍ය යටවත්තේ ධම්මානන්ද හිමි – ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහනුවර දිස්ත්‍රික් සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධීකාරි –
එල්ටීටීඊ සංවිධානයේ අභිමථාර්ත ජය ගැනීමට සටන්කර ජීවිත අහිමිවූවන් ඔවුන්ට විරුවන් වුණා. අනෙක් අතින් එල්ටීටීඊයට විරුද්ධව අපේ රට ආරක්‍ෂාකර ගැනීමට හමුදා ක්‍රියාන්විතය හරහා ජීවිත අහිමිවූවන් අපට විරුවන් වුණා. කෙසේවෙතත්, මේ දෙපාර්ශවයේම සටන්වලින් සාමාන්‍ය ජනතාව අසරණ වුණා. දෙපැත්තේම මිනිස්සු ජීවිතක්‍ෂයට පත්වුණා. මේ සිවිල් යුද්ධය නිසා දෙමළ ජනතාවගෙත් විශාල පිරිසක් ජීවිතක්‍ෂයට පත්වීම ගැන අපට දුකක්, වේදනාවක් තිබෙනවා. එල්ටීටීඊ සංවිධානයට බැඳුණු අය ගැන නෙවෙයි, නිරපරාදේ මැරුණු අහිංසක දෙමළ මිනිස්සු ගැන දුකයි. ඒ නිසා ඒ ඥාතීන්, ඒ මියගිය අයව සිහිකිරීම කිසීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නෙවෙයි. මම ඒ ස්මරණය කිරීමේ කිසිම වැරැද්දක් දකින්නේ නැහැ. 
ඇතැම් දෙමළ දෙමාපියෝ මුලු ලෝකයක් විධියට හිතාගෙන හිටපු තරුණ දරුවෝ, ළමයි මේ සටන් නිසා ඒ අයට අහිමි වුණා. ඒ පිළිබඳව විශාල කණගාටුවක් අපිටත් දැනෙනවා. ඉතිං ඒ නිසා, මේ සටන් වලින්, සිවිල් යුද්ධය නිසා නිරපරාදේ ජීවිත අහිමි වෙච්ච සෑම සියලු දෙනා වෙනුවෙන් ම මලක් පහනක් තියලා ඒ අයව සිහිකළාට කිසිම වැරුද්දක් නැහැ. ඒක, ඒ අය කළ යුතු දෙයක්. අපි ඒ අයට අවස්ථාව ලබාදෙන්න ඕනේ,
නැත්නම් එහෙම, රජයක් හැටියටත් අපි කරන්නේ මහා විශාල අසාධාරණයක්
කේ. ආර්. ඒ. සිද්ධික් හජ්ජියාර්  -මහනුවර දිස්ත්‍රික් මුස්ලිම් දේවස්ථාන සම්මේලනයේ සභාපති –
මට තාමත් හොඳට මතකයි 1983 කලබල ඇතිවුණු ආකාරය. මට වසය 17යි. පාරදිගේ කොච්චර මිනිස්සු පුච්චලා දාලා තිබුණද? කොච්චර ජීවිත හා දේපොල නැතිවුණාද ? වසර 30ක් පමණ දීර්ඝ කාලයක් අපේ රටේ මිනිස් ජීවිත වගේම දේපොල විශාල වශයෙන් විනාශ වුණා. යුද්ධය අවසානයේ අපිට මොකක්ද ලැබුණේ? අපේ රටේ අද පවතින තත්ත්වය ඒ යුද්ධයේ ප්‍රථිපලයක්. පෞද්ගලීකව දීර්ඝකාලින යුද්ධය නිසා අපේ ව්‍යාපාර සියල්ලක් විනාශ වුණා. ඒ පාඩුව, නැතිවීම අපේ ජීවිතවලට තාම ඉතාම දැඩි ලෙස බලපානවා. ඒ නිසා නැවත වරක් එවැනි පසුබිමක් , තත්ත්වයක් අපිට අවශ්‍ය නැහැ. 
 
යුද්ධයේ අවසානයේ දී, දීර්ඝ කාලයක් තුළ මුස්ලිම්, සිංහල දෙමළ වශයෙන් මිනිස්සු විශාල සංඛ්‍යාවක් ජීවිතක්‍ෂයට පත්වෙලා තිබෙනවා. ඒ නිසා දෙමළ ජනතාව තමන්ගේ මිය ගිය ඥාතීන් සිහිපත් කරන්න ඒ අයගේ සාම්ප්‍රදායික කැඳ පිළියෙලකරලා, ඒ දානය දීමේ කිසිම වැරැද්දක් මම නම් දකින්නේ නැහැ.  මොකද අපි කොයිකවුරුත් අපේ මියගිය ඥාතීන්ව වසරක් පාසා ස්මරණය කරනවා, විවිධ පුන්‍ය ක්‍රියා කරලා. ඉතිං මේ දෙමළ ජනතාවත් තමන්ගේ ජනතාව අහිමිවීම ගැන මේ විධියට ස්මරණය කිරීම කිසිම වැරැද්දක් නෙවෙයි.  
දීපා ප්‍රනාන්දු පැවිදි සොයුරිය – (MPhil) අධ්‍යාපනඥ සහ සමාජ සාධාරණ ක්‍රියාකාරිණි – 
යුද්ධයේදී මියගිය ඥාතීන් සිහිකිරීම ලංකාවේ,  මර්ධනයට ලක්වෙලා , නීතී විරෝධී ක්‍රියාවක් බවට පත්වෙලා තිබුණාට, 1994 වසරේදී මහා විශාල ජන ඝාතනයක් සිදුවුණු රුවන්ඩාවේ, රාජ්‍ය අනුග්‍රහයෙන් තමයි ඝාතනයට ලක්වෙච්ච ජනතාව ස්මරණය කරන්නේ. ජාත්‍යන්තරව පිළිගන්නවා එය ජන සංහාරයක් කියලා. 1995 දී බලයට පත්වුණු නව ආණ්ඩුව, ජන සංහාරයක් සිදුවුණු බවට පිළිඅරගෙන  එය ජාතික වශයෙන් ස්මරණය කරන්නට කටයුතු කරනවා.
 
රුවන්ඩාව තුළ නැවත මෙවැනි යුද්ධයක් ඇතිනොවිය යුතුයි යන්න තහවුරු කරන්නට තමයි රුවන්ඩා රජය සුවවීමේ කටයුතු බොහෝමයක් දියත් කළේ. රාජ්‍ය විසින් ම සිහිකිරිමේ ස්ථාන කිහිපයක් ම නම් කරනවා. ඒ වගේම කතෝලික පල්ලි කිහිපයක් ම නම්කරනවා, මරාදැමූවන් සිහිකිරීමේ ස්ථාන විධියට. ඒ වගේම පැවති ආණ්ඩුව සහ කතෝලික සභාව අතර දිර්ඝ සාකච්ඡා පැවැත්වෙනවා. මෙහි විශේෂිතම කාරණවක් තමයි, මෙවැනි යුද්ධයක් නැවත සිදුනොවීම ඉල්ලක්ක කරගනිමින් යුද්ධය පිළිබඳව පාසැල් ඉගැන්වීම සඳහා පෙළපොත් වලට ඇතුලත් කළා.
 

ඒ වගේම, මෑතකදී නෝර්වෙි රටේ දි මා සියැසින් ම දූටූ “ඔටෝවා කියන දිවයින” වෙන්කරලා තියෙනවා ත්‍රස්තවාදී ක්‍රියාවක ප්‍රතිඵලයක් විධියට. වසර 2011 ජුලි මාසේදී තරුණ කඳවුරකට සහභාගී වෙමින් සිටිය දී ඝාතනය කරපු තරුණයින් 77කට වඩා සංඛ්‍යාවක් ඉතාම ගෞරවාන්විතව සිහිපත් කිරීම සඳහා ඒ දිවයින වෙන්කරලා තියෙනවා. 

 

මේ ස්ථානය කොතෙක් දුරට ව්‍යාප්තවෙලා ද කීවොත්, මෑතකාලයේ සිට, ඒ සිහිකිරීමට අමතරව, ඒ රටේ විවිධ මානසීක පීඩාවන්ට මුහුණ දෙන, ව්‍යාකූලත්වයට පත්වෙච්ච, ව්‍යාධි වලින් පසුවන පුද්ගලයින්ට ඒ පීඩාව, දුක ප්‍රකාශකරලා මානසීක සුවයක් ලබාගන්නට හැකි ස්ථානයක් බවටත් පත්කරලා තිබෙනවා. ඒ සඳහා අධ්‍යාපනය ලබාදීම වගේම විවිධ ව්‍යාපෘතීන් රාශියක් ඒ දිවයින තුළ ක්‍රියාත්මක වනවා.    
ගරු කුමාර ඉලංගසිංහ රදගුරු හිමි – කුරුණෑගල දියෝකීසියේ හිටපු රදගුරු සහ සමාජ සාධාරණ ක්‍රියාකරු 
ක්‍රිස්තුස්වහන්සේ අපට පෙන්වා දී තිබෙන කාරණාවක් තමයි, සිහිකිරීම. මේ සිහිකිරීම අතීශ්‍ය වැදගත් කාර්යයක්. ජේසුස්වහන්සේගේ අවසාන රාත්‍රී භෝජන අවස්ථාවේදී ගෝලයින්ට කථාකරලා කිව්වා “මා සිහිකිරීම පිණිස මෙය සිදුකරන්න” කියලා. නැවත, නැවත ඒ සිහිපත්කිරීම සිදුකරන්න කියලා තමා කිව්වේ. ඒ නිසා මේ සිහිගැන්වීම අතවශ්‍යය කාරණාවක්. ඒ නිසා මේ මියගිය ඥාතීන් සිහිපත්කිරීම අතවශ්‍යය කාරණාවක්. 
 
තමන්ගේ පවුල්වල ජීවිත අහිමිවුණු ඒ සියලු ඥාතීන් අවුරුදු පතා සිහිකරලා ඔවුන්ගේ ජීවිත ගැන දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීම අපේ සිරිතක්. කිතුනුවන් විධියට අපි අනිවාර්යයෙන් සිදුකළ යුතු දෙයක්. එසේ කිරීම ශු.බයිබලය තුළින් සහ ක්‍රිස්තුස්වහන්සේත් අපට මතක්කර දී තිබෙනවා. කිතුනුවන් හැටියට ඒක අපේ අයිතියක් සහ එය සිදුකරන්නට අපට නිදහස තිබිය යුතුයි.  
“මේ සිහිපත් කිරීම කියන්නේ පීඩාවට පත්වෙච්ච මිනිස්සුන්ගේ හිතේ තිබෙන බර, වේදනාව දුක සමනය කරගන්නට තිබෙන දීර්ඝ කාලීන සුවපත් වීමේ ක්‍රියාවක්”.  
 

යුද්ධයක් වැනි යම්කිසි ක්‍රියාවලියක් නිසා ඥාතීන් අහිමිවීමේ වේදනාව , කේන්තිය , එපාවීම කියන ඒ සියලුම දේ වෙනුවෙන් “කල්පනා කරලා, කතා කරලා, කඳුලු හලන්න, මල් – පහන් තබන්න පුලුවන් වුනොත් තමයි ජීවත්වෙලා ඉන්න ඒ අයගේ සිත් සුවත්වෙන්නේ. ඊට ඉඩ නොදුන්නහොත් අපි ඒ අයට කරන විශාල අසාධාරණයක් ඒක.  එහෙම උනොත් ඒ අය සදාකාලිකව ම දුක විඳිමින් ජීවත් වේවි”.

 

අපේ රට ප්‍රධාන ආගම් හතරක ආශීර්වාදය ලත් ජනතාවක් ජීවත්වන රටක්. ඒ කිසිම ආගමකින් කියලා නැහැ මිනිස්සුන් තලාපෙලා හානියට පත්කරන්න, ජීවිත විනාශ කරන්න. ඔවුන්ට හිරහැර කරන්න කියලා. ඒ නිසා, මිය ගිය ඥාතීන් සිහිපත්කරන්නට ඒ ජනතාවට අයිතිය ලබාදිය යුතුමයි.
 
යුද්ධයෙන් මියගිය වූවන් සිහිකිරීම පිළිබඳව ගනුලබන පියවරයන් රාජ්‍ය මර්ධනයට ගොඳූරුකර ගැනීම සම්බන්ධයෙන් මහනුවර නගරයේ පුරවැසියන් විසින් ද ප්‍රකාශ කළේ මෙවැනි අදහස් කිහිපයකි.  “දෙමළ ජනතාවත් මේරට පුරවැසියන් වන අතර මිය ගිය ඥාතීන් සැමරීමේ පූර්ණ අයිතිය ඔවුන්ට ලබාදිය යුතු බවයි. නීතිය වගේම අයිතියත් හැමදෙනාටම පොදු වෙන්න ඕනේ යැයි ඔව්හු ප්‍රකාශ කළහ. නීතිය , වර්ගය  භාෂාව ජාතිය අනුව වෙනස් නොවිය යුතු බවත් රටේ ජීවත් වන සියලුම දෙනාට ඒ සියල්ලක් ම පොදු විය යුතු බවත්” ඔව්හු පැවසූහ.

 

“මැයි 12 වෙනිදා රාත්‍රීයේ දී සාම්පූර් පොලීසියෙන් කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් , ඔවුන්ට අමානූෂීක ලෙස හිරහැර කිරීමත් ඇත්තෙන්ම නින්දා සහගතයි. පොලීසිය මිනිස්සුන්ගේ ස්වාධීන අයිතිය උල්ලංඝනය කරනවා. ඒකට අපි පුරවැසියෝ ලෙසට දැඩිව විරෝධය පානවා” යැයි උඩ පේරාදෙණියේ සුලු ව්‍යාපාරික තිස්ස කිත්සිරි ප්‍රකාශ කළේය. 
     විශේෂ ස්තූතිය – ඉන්ටර්නිවුස් ආයතනය

  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed